Wednesday, November 23, 2011

Dreamgirls (2006) | Beyoncé Knowles, Jamie Foxx, Eddie Murphy


Dreamgrils කියන්නෙ තවත් එක සංගීතමය චිත්‍රපටියක් විතරක් නෙවෙයි. දක්ෂයින් කීපදෙනෙක්ම වැඩ පෙන්නන චිත්‍රපටියක්. විශේෂයෙන්ම ඇමරිකන් අයිඩල් වැඩසටහනේ තුන්වෙනි වාරයේ අවසන් වටයෙදි ඒකෙන් හැලුන Jennifer Hudsonගෙ ගායනය සහ අපූරු රංගනය චිත්‍රපටිය පුරාම දැණෙනවා. ඊට අමතරව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති Eddie Murphy මේ චිත්‍රපටියෙ සුවිශේෂ රංගනයක යෙදෙනවා. ඔහු විශිෂ්ඨ ගායකයෙක් කියලත් මේ චිත්‍රපටියෙන් අපට පේනවා. මොකද මේ චිත්‍රපටියෙ ඔහු කියන ගීත ඇත්තටම ගායනා කරන්නෙ ඔහු කියල හොයාගන්න ලැබුණා. ඒ එක්කම ලෝකයේ තවත් ජනප්‍රිය ගායිකාවක් වෙන Beyoncé Knowles සහ දක්ෂ ‍‍නළුවෙක් වෙන Jamie Foxx මේ චිත්‍රපටිය ආලෝකමත් කරනවා.

කතාව ඇරඹෙන්නෙ විවෘත සංගීත ප්‍රසංගයකින්. ඒ ප්‍රසංගය ආධුනික ප්‍රවීන භේදයකින් තොරව හැමෝටම විවෘත එකක්. නමුත් එතනින් ගන්න ආරම්භය සමහර විට කෙනෙක්ව තරුවක් කරන්න පුළුවන්. මේ ප්‍රසංගයේ ගායනයට එන දක්ෂ තරුණියන් තුන්දෙනෙක්ට හමුවෙන්නෙ Curtis Taylor Jr. කියන ව්‍යාපාරිකයව. ඔහු හරහා මේ තරුණියන්ට එවකට ප්‍රසිද්ධ R&B ගායකයෙක් වෙන James 'Thunder' Early ව හමුවෙනව. ඔහුගේ අත්වැල් ගායනයට එකතුවෙන මේ තරුණියන් Dreamettes නමින් ජනප්‍රිය වෙනවා. ටිකෙන් ටික ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යන ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ කලමණාකරු සහ ‍ලේබල් අයිතිකරු විධියට කටයුතු කරන කර්ටිස් විසින් ව්‍යාපාරික උවමනා වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ හේතුවෙන් කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව වෙන Effie කණ්ඩායමෙන් ඉවත් වෙනවා. වෙනත් ගායිකාවක් හරහා සම්පූර්ණ වෙන Dreamettes කණ්ඩායම ඉදිරියට යනවා. නමුත් අවසානයේ ඔවුන් සියළු දෙනා තමන්ට ජීවිතයේ අයිති නිසි තැන ටිකෙන් ටික හොයාගන්නවා.

ගීත කොපි කිරීම ගැන අද සැලකිය යුතු සංවාදයක් තියෙනවනේ. මේ චිත්‍රපටිය බැලුවනම් ගීත සහ දක්ෂතා සොරාගැනීම මොන තරම් කෲර විධියට වුණාද කියල තේරුම්ගන්න පුළුවන්. මුදල් හමුවේ සියළු දේවල් වල තියෙන්නෙ මුදලේ වටිනාකමක් විතරයි. මිනිස්කමේ පවා...?

සංගීතය එක්ක බැඳුණු චිත්‍රපටි බලන්න කැමති කාටත් මේ චිත්‍රපටියෙන් අපූරු අත්දැකීමක් ලැබෙයි කියල හිතනවා.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

Monday, November 21, 2011

Creation (2009) | Paul Bettany, Jennifer Connelly, Ian Kelly


අවුරුදු 20ක් පුරා ඔහු කරන්නෙ නිරීක්ෂණ. ඒ නිරීක්ෂණත්, ඒවයින් එළඹෙන නිගමනත් ඔහු සටහන් කරගන්නවා. ඔහුට යමක් තේරෙන්න ගන්නවා. හැමෝම ලෝකය ගැන විශ්වාස කරන විධියෙ අවුලක් තියෙන බව ඔහුට පේන්න ගන්නවා.

ඔහු Charles Darwin. පරිණාමවාදය විධියට අද සත්ත්වයන්ගේ ඉතිහාස කතාව විධියට ලෝකයම පිළිගන්න සංකල්පය මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන්නෙ ඔහු. හැමෝම හිතන්නෙ ලෝකය මැව්වෙ දෙවියන්වහන්සෙ කියල. නමුත් ඇත්ත ලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් හරිම ස්වභාවිකයි. ඒ වෙනස්කම් සියල්ල නොදන්න අදහසක පාලනයට යටත් කියල හිතන්න බැරි තරම්. ඒ නිසාම ඒක දිහා වෙනස් විධියකට බලන්න පුළුවන්.

ඔහු තමන්ගෙ දියණියගෙ වියෝව දරාගන්නෙ අමාරුවෙන්. ඇය ලෝකෙ ඉන්න සර්ව සම්පූර්ණ දරුව වෙයි කියලයි ඔහුත් ඔහුගෙ බිරිඳ එමාත් හිතන්නෙ. ස්වභාවික වරණය, එහෙම නැත්තං ඩාවින්ගේ Natural selection කියන මූලධර්මය අනුව ජීවීන් පරිණාමය වීම කියන අදහස ඒ විධියටම ඔහුගෙ දියණියගෙ ජීවිතේටත් බලපායි කියල ඔහු හිතන්නෙ නෑ. නමුත් අවසානයේ ඔහුට ඒක පිළිගන්න වෙනව. ඔහු ඇතුළු සියළු සත්ත්ව වර්ගයා ඔහු විසින් හඳුනාගත්තු නියමයන්ට යටත්.

මේ කතාව මෙහෙම ගලාගෙන යන්නෙ Creation කියන චිත්‍රපටියේ. මෑතකදි බලපු ඉතාම හොඳ චිත්‍රපටි අතරෙ මේකත් එකක්. විශෙෂයෙන්ම සැබෑ ජීවිතෙන් අඹු සැමියො වුණ Paul Bettany සහ Jennifer Connelly මේ චිත්‍රපටියෙ රඟපෑමම මේක බලන්න තල්ලුවක් දුන්නා. චාල්ස් ඩාවින් සෑහෙන්න මානසික අවපාතයක ඉන්න ගමන් ඔහුගේ පරිණාමවාදයේ මූලික අදහස ඉදිරිපත් කරපු The origin of species කෘතිය ලියන අතරෙ ඔහුගෙ පවුල සහ මියගිය දියණියගේ මතකයන් ඔහු වටා ගැවසීම ආශ්‍රයෙන් තමයි කතාව ගලන්නේ.

අවසානයේ ඔහු තමන්ගෙ අරමුණ කරා යන්නෙ තමන්ගෙ ජීවිතයත් ආපහු සුන්දර තැනකට යොමුකරගන්න ගමන්... මම හිතන්නෙ මේක ස්වභාවිකත්වය පිළිගන්න කවුරුත් නැරඹිය යුතු චිත්‍රපටියක්!



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Tuesday, November 1, 2011

Another Earth (2011) | Brit Marling, William Mapother, Matthew-Lee Erlbach


Rhoda Williams කවදාවත් හිතන්නෙ නෑ තමන් අතින් ඒ අනතුර සිද්ධ වෙයි කියල. නමුත් ඒක වෙන්නෙ නොහිතපු වෙලාවක. ඒ වෙලාවෙ වේගයෙන් රිය පදවමින් ඉන්න අතරෙ රේඩියෝවෙ කිව්වෙ පෘථිවියට පේන්න අරගෙන තිබුණ අළුත් පෘථිවිය ගැන. ඔව්... ඒක පුදුම හිතෙන දෙයක්. අපි ඉන්න පෘථිවිය වගේම තවත් එකක්. හඳකුත් එක්ක.

ඒ වෙලාවෙ අහසෙ පේන්න තිබුණ අළුත් පෘථිවිය දිහා බලාගෙන එලවන්න ගිහින් සිදුවුණ අනතුරේ ප්‍රතිඵලය වුණේ අවුරුදු 4ක් අඩස්සියේ ඉන්න සිද්ධ වෙන එක විතරක් නෙවෙයි. දැඩි මානසික පීඩනයක්...

අවුරුදු 4කට පස්සෙත් අළුත් පෘථිවිය පේන්න තිබුණ. ඒකට මිනිස්සු යවන්න එක එක වැඩසටහන්, ලොතරැයි වර්ග ගොඩක් තිබුණ. ඒක අරුම පුදුම මූලධර්ම ගොඩකින් නිර්වචනය වුණ ඇත්තක්... රෝඩාට උවමනා වුණේ ඒකට යන්න... අවුරුදු 4ක් තිස්සෙ ඇයව පෙලමින් තිබුණ වරදකාරී හැඟිමෙන් ගැලවෙන්න ඇයට කරන්න තිබුණෙ ඒක විතරයි...

ඇය ඒ වෙනුවෙන් මහන්සි වෙනව... නමුත් රිය අනතුරෙන් මියගිය කාන්තාවගේ සැමිය... නැත්තං ඒ දරුවගෙ තාත්ත තවම ජීවතුන් අතර ඉන්න බව දැනගැනීමත් එක්ක රෝඩාගෙ ජීවිතේ බලාපොරොත්තුවක් මතු වෙනව. ජීවත් වෙන ඒ මනුස්සයට උදව්වක් කරන්න ඇයට උවමනා වෙනව. ඇය ඔහුට ටිකෙන් ටික ලං වෙන්නෙ ඇගේ ඇත්ත කතාව සඟවමින්...

ඒ අතරෙ ඇය අළුත් පෘථිවියට යාම වෙනුවෙන් තිබුණ තරගයකින් ජය ගන්නව...

කොහොමද තමන්ට තමන්වම මුණ ගැහුණොත්... එහෙම නැත්තං තමන්ගෙන් බැහැර වෙලා තමන් දිහා බලන්න පුළුවන් වුණොත්....

වෙව්ලන සීතලේ ගෙවෙන කම්මැලි දවස් කීපයක් අතරදි මේ සුන්දර චිත්‍රපටිය බලන්න ලැබුණම දැණුනෙ අප්‍රමාණ සතුටක්. මට මේක බලද්දි මතක් වුණේ The Man from Earth චිත්‍රපටිය. ඒ චිත්‍රපටියෙ වගේම මේකෙත් හොඳම කොටස තියෙන්නෙ සාර්ථක පිටපතේ කියල කිව්වොත් මම හරි වෙන්න ඕන. ඒ වගේම ප්‍රධාන නිළිය විධියට රඟපාන Brit Marling චිත්‍රපටිය පුරාම මාව ඒකට අලවල තිබ්බා.

මේ චිත්‍රපටිය තරුණ වැඩක්. මේකෙ අධ්‍යක්ෂක Mike Cahill ක්ෂේත්‍රයේ විවිධ දේවල් කරමින් අධ්‍යක්ෂණයට පිවිසුන කෙනෙක්. ඔහු අනාගතේ ලොකු වැඩකාරයෙක් වෙයි කියල හිතෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Monday, October 24, 2011

Mr. Popper's Penguins (2011) | Jim Carrey, Carla Gugino, Angela Lansbury


Jim Carrey කියන නම ඇහුන ගමන් අපට මතක් වෙන්නෙ විකට නළුවෙක් වුණත් ඔහු ඇත්තටම ගැඹුරු චරිත නිරූපණය කරන්න පුළුවන්කමක් තියෙන නළුවෙක්. ඒ වගේම ඔහු දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්.

අද කියන්න යන Mr. Popper's Penguins චිත්‍රපටිය මේ අවුරුද්දෙදි නිකුත් වුණ ඔහුගේ සුපුරුදු විකට රංගනයෙන් යුතු චිත්‍රපටියක්. මේක සුපුරුදු විධියටම මහා ලොකු කතාවක් නෙවෙයි. නමුත් හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක්. චිත්‍රපටිවලට කැමති පුංචි ළමයි එහෙම ඉන්නවනම් මේක හොඳට අල්ලල යයි එයාලට.

Tom Popper කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු තමන් කරන වැඩේට හොඳින් කැප වුණ ක්ෂේත්‍රයේ තැනක් තියෙන දක්ෂයෙක්. නමුත් ඔහු ඉන්නෙ ඔහුගෙ වෘත්තිය තුල හිරවෙලා. තමන්ගෙ බිරිඳගෙන් වෙන්වෙලා ඉන්න ඔහු දරුවො දෙන්න දකින්නෙත් සති අන්තයෙදි විතරයි.

මේ ජීවන රටාව වෙනස් වෙනවා ඔහුගෙ පියාගෙන් ඔහුට ලැබෙන තිළිණයක් නිසා. ඇත්තටම ඒක ටොම්ගෙ පියා මිය යන්න කලින් ඔහුට වෙන් කරල එවන තෑග්ගක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. පෙන්ගුයින් කෙනෙක්. එක්කෙනෙක් මදිවට පස්සෙ හම්බවෙන තවත් 5 දෙනෙක් එක්ක පෙන්ගුයින්ලා 6 දෙනෙක් ටොම්ට තෑගි විධියට හම්බ වෙනවා.

මේ පෙන්ගුයින්ලා නිසා ඔහුට තමන්ගෙ පවුලෙ සැලකිල්ල ආයෙමත් හම්බවෙනවා. ඔහුගෙ දරුවො දෙන්න පෙන්ගුයින්ලා නිසාම ආයෙත් ඔහුත් එක්ක ගැවසෙන්න ගන්නවා. ඔහුගෙ බිරිඳත් ආයෙමත් ඔහුට සමීප වෙනවා.

නමුත් ඔහුගෙ ජීවිතේ ඒ විධියටම දිගටම ගෙවෙන්නෙ නෑ. නොයෙක් කරදර බාධක වගේම පෙන්ගුයින්ලා කරන ලේ රත්වෙන වැඩ එක්ක ඔහුට තමන්ගෙ ජීවිතේ ගැන ආයෙමත් හිතන්න අවස්ථාවක් එනවා...



මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Thursday, October 13, 2011

The Abyss (1989) | Ed Harris, Mary Elizabeth Mastrantonio, Michael Biehn


James Cameron කියන අපූරු අධ්‍යක්ෂවරයව අපි මුලින්ම හොඳට අඳුනගන්නෙ Titanic චිත්‍රපටියෙන්. නමුත් Aliens සහ Terminator වගේ චිත්‍රපටිත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වුණ නිර්මාණ. මෑතකදි Avatar චිත්‍රපටියෙන් ඔහු ආයෙත් වැඩ පෙන්නුවා. මේ සේරම දිහා බලද්දි පේ‍න කාරණයක් තමයි ඔහු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයෙන් වැඩ අරන් තියෙන බව. ඔහුම කියල තියෙන විධියට Avatar චිත්‍රපටිය හදන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙනකල් ඒ පිටපත ඔහු සතුව අවුරුදු 10ක් වගේ කාලයක් තිබිල තියෙනවා. ඒ කියන්නෙ ඔහුට සෑහෙන්න හොඳ ඉදිරි දැක්මක් තියෙනවා සහ ඒ දැක්ම චිත්‍රපටියකින් නිර්මාණය කිරීම ගැනත් ඔහුට සෑහෙන්න අවබෝධයක් තියෙනවා.

මේ තරම් කැමරන් මහත්තය ගැන අටුවා ලිව්වෙ අද කියන්න යන කැමරන් විසින්ම අධ්‍යක්ෂණය කරපු The Abyss චිත්‍රපටියේ වටිනාකම හඳුන්වල දෙන්න උවමනා හින්දයි. The Abyss චිත්‍රපටියත් ප්‍රධාන වශයෙන් විද්‍යා ප්‍රබන්ධයක් විධියට සලකන්න පුළුවන් අපූරු නිර්මාණයක්. 1989 වගේ පරිගණක සජීවීකරණය කොහෙත්ම දියුණු නැති කාලෙක සාම්ප්‍රදායික ද්‍රෂ්‍ය ප්‍රයෝග වලින් මේ චිත්‍රපටිය සෑහෙන්න සාර්ථකව නිර්මාණය කරල තියෙන විධිය විශ්වාස කරන්න බැරි තරම්. ඒ හින්දම වෙන්න ඇති මේ චිත්‍රපටියට හොඳම දෘෂ්‍ය ප්‍රයෝග වෙනුවෙන් ඇකඩම් සම්මානය හිමි වෙලා තියෙන්නේ.

කතාවෙ තියෙන්නෙ ‍මුහුදු පත්ල කණිමින් තෙල් නිධි හොයන කිමිදුම් කණ්ඩායමක් රජයේ ඉල්ලීමක් අනුව යෙදෙන මෙහෙයුමක් ගැනයි. ඔවුන්ට නියම වෙන්නෙ කාර්මික දෝෂයක් නිසා ක්‍රියා විරහිත වෙලා මුහුද පත්ලට ගිය න්‍යෂ්ඨික සබ්මැරීනයක විස්තර හොයාගන්නයි. ඔවුන් සබ්මැරීනය හොයාගන්නව වුණාට ඒ පරිසරයෙදි ඔවුන්ට හම්බ වෙන්නෙ ඔවුන් හීනෙන්වත් නොහිතපු කට්ටියක්. පිටසක්වලින් පැමිණි පිරිසක්. චිත්‍රපටියෙ ඉතිරිය ගලාගෙන යන්නෙ ඒ ජීවීන් සමග සිද්ධ වෙන කතාබහ සහ සිදුවීම් එක්ක. අවසානයෙ මුළු ලෝකයේම අවධානය යොමුවෙන සිදුවීම් දාමයක් ඒ නිසා ඇරඹෙනවා.

චිත්‍රපටිය මට හමුවෙන්නෙ Ed Harris කියන නළුව ගැන හොයද්දි. ඔහු මේ චිත්‍රපටියෙ පුධාන චරිතය රඟපානවා. හොලිවුඩයේ ඉන්න තමන්ටම විශේෂ අනන්‍යතාවක් තියෙන තවත් අපූරු නළුවෙක් තමයි ඔහු.

ඉතිං බලන්න. ජේම්ස් කැමරන් අද වගේම එදත් සුරයෙක් බව තේරුම්ගන්න පුළුවන් හොඳම චිත්‍රපටියක්.



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Wednesday, October 12, 2011

The Bodyguard (1992) | Kevin Costner, Whitney Houston, Gary Kemp


Frank Farmer කියන්නෙ පුද්ගල ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ Bodyguard කෙනෙක්. ඔහු Freelancer කෙනෙක් ;-) ඔහුට ආරක්ෂා කරන්න නියම වෙන අළුත්ම පුද්ගලයා කාන්තාවක්. ඇය Rachel Marron නම් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක්. සුපිරි ජීවිතයක් ගෙවන කෙනෙක්. ඇය මුලදි කොහෙත්ම ‍ෆ්‍රෑන්ක්ගෙ සේවය තමන්ට අවශ්‍ය බව පිළිනොගන්නව වුණාට පසුව ඇයට තේරෙණව ඔහුගෙ සේවය තමන්ට අවශ්‍යයි කියල. මොකද ඇයව පිස්සුවෙන් අගය කරන සහ ඊර්ෂ්‍යා කරන පුද්ගලයෙක් ඇයට නිර්නාමික තර්ජන එල්ල කරනව.

කල් යද්දි ෆ්‍රෑන්ක් සහ රැචෙල් දෙදෙනා අතර තියෙන ඇසුර සේවා දායක සහ සේවා ලාභී කියන තත්ත්වයෙන් මිදිල ඊටත් වඩා පුද්ගලික මට්ටමකට යනව. ඔය අතරෙ රැචෙල් හොඳම නිළිය විධියට ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වෙනව.

මේ විධියට කතාව ගලාගෙන යන්නෙ The Bodyguard චිත්‍රපටියෙයි. ‍බොහොම දක්ෂ හොලිවුඩ් නළුවෙක් වෙන Kevin Costner සහ ඇත්ත ජීවිතෙත් ගායිකාවක් සහ නිළියක් වුණ Whitney Houston ‍දෙන්න තමයි පුධාන චරිත වලට පණ පොවන්නෙ. මේක හොඳ චිත්‍රපටියක් කියල අහල තිබුණට මෑතක් වෙනකල්ම බලන්න වුණේ නෑ. ටිකක් සංගීතය පැත්තටත් බර නිසා සෑහෙන්න හිතට වැදුණා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, October 11, 2011

Coming to America (1988) | Eddie Murphy, Arsenio Hall, James Earl Jones


Eddie Murphyට අකමැති චිත්‍රපටි ලෝලියෙක් ඉන්න විධියක් නෑනේ. දක්ෂ විකට රංගන ශිල්පියෙක් වගේම හොඳ හඬකවන්නෙක් විධියටත් සිනමා නිර්මාණ ගණනාවකින් අපි ඔහුව අඳුනගෙන ඉන්නවා.

Coming to America කියන චිත්‍රපටිය ඔහුම ලියපු කතාවක් අනුව නිපදවුණු චිත්‍රපටියක්. ටිකක් පරණ වුණාට මේ චිත්‍රපටිය මට හොඳට වැදුණ එකක්. එඩී මර්ෆිගෙ වෙනස්ම රඟපෑමක් දැකගන්න ලැබුණා වගේම ඔහුත් ඔහුගේ මිතුරා සහ සේවකයා විධියට රඟපාන Arsenio Hall කියන රංගන ශිල්පියත් විවිධ චරිත කීපයක්ම රඟපානවා. ඒ චරිත ඇත්තටම හොයන්න බැරි තරම් තාත්විකව වෙස් ගන්වල තියෙනවා.

අකීම් කියන්නෙ අප්‍රිකාවෙ තියෙන පෝසත් රටක් වෙන Zamunda දේශයේ ඔටුන්න හිමි කුමාරයායි. ඔහුගේ සියළුම වැඩ කරල දෙන්න ‍ඕන තරම් සේවකයො ඔහුට ඉන්නවා. ඔහුගෙ 21වෙනි උපන් දිනයෙදි පියරජතුමා සහ මව් බිසව ඔහුට මනමාලියක් යෝජනා කරනවා. නමුත් අකීම් වඩාත් කැමති වෙන්නෙ තමන් කියන දේ කරන බිරිඳකට වඩා ඔහුව තේරුම් අරගත් ඔහු තුල ඉන්න මනුස්සයට ආදරය කරන යුවතියක්ව විවාහ කරගන්නයි. ඒ නිසාම තමන්ගේ සිහින කුමරිය හොයාගෙන ඔහු තමන්ගෙ සේවක සැමි එක්ක ඇමරිකාවෙ කිවීන්ස් ජනපදය වෙත එනවා.

ඔවුන් එහිදි හැසිරෙන්නෙ දිළින්දන් විධියට. දුප්පත් කුලී කාමරයක ඉඳන් ඔවුන් දෙදෙනා කිවීන්ස් ජනපදයේ අවන්හලක සුළු රැකියා කරමින් අකීම්ගෙ අරමුණ වෙනුවෙන් වෙහෙසෙනවා.

චිත්‍රපටිය අවසාන වෙද්දි විවිධ අතට දිවුණ සිදුවීම් ගණනාවක් එක්ක අකීම්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන්ගන්නවා. ඒ අතරෙ වෙන සිදුවීම් රසවත්ව බලාගෙන ඉන්න පුළුවන් විධියට නිර්මාණය කරල තියෙනවා. සෑහෙන්න හිනා වෙන්නත් පුළුවන්.

චිත්‍රපටිය අවසානයේ ඒ ඒ චරිත රඟපාන්නෙ කවුද කියල පෙන්නද්දි පුදුම වෙන්නත් පුළුවන්.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, October 7, 2011

Pirates of Silicon Valley (1999) | Anthony Michael Hall, Noah Wyle, Joey Slotnick


ලෝකයේ තාක්ෂණික භාවිතාව සහමුලින්ම වෙනස් කරපු ස්ටීව් ජොබ්ස් මහත්තයා පහුගිය 5 වෙනිද මෙලොවින් සමුගත්තනේ. ඒ වුණත් සෑහෙන්න කාලයක් යනකල් ලෝකය පුරා ඔහුගෙ නම කියවෙන විධියෙ වැඩ ගොඩක් ඔහුට කරන්න පුළුවන් වුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ට්යෙන් එලියට බැහැල හිතපු පුද්ගලයෙක් විධියට ඔහුට අපි කවුරුත් ගෞරවාන්විත ආදරයක් දක්වනවා. ඔහු තාක්ෂණය නිතර ඇසුරු කරන ඇතැම් අයගේ වීරයෙක්.

මේ කියන්න යන්නෙ ඔහුගේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගැන කියවෙන වාර්තා චිත්‍රපටියක් ගැන. ඒ තමයි Pirates of Silicon Valley. මේක ගැන මුල්ම ඔත්තුව දුන්නෙ මැක් සටහන් ලියන අසංක. ඔහුට ස්තූතිවන්ත වෙනවා මේ අපූරු සිනමා නිර්මාණය ගැන සටහනක ලිව්ව එකට.

මේක ඇත්තටම එක විධියකින් වාර්තා චිත්‍රපටියක්. තවත් විධියකින් ඇපල් සහ මයි‍ක්‍රොසොෆ්ට් සමාගම්වල ආරම්භය සිදිධ වුණ විධිය ගැන කතාවක්. අනිත් අතින් ඔය හැමෝම එකිනෙකාගෙන් හොරකම් කරගෙන තමන්ගෙ නිෂ්පාදන සාර්ථක කරගත්තු විධිය ගැන කතාවක්. නමුත් මේ වෙලාවෙ මම කැමතියි මේක ස්ටීව් ජොබ්ස් කියන මනුස්සයගෙ දර්ශණය සෑහෙන්න අවබෝධ කරගන්න පුළුවන් විධියෙ චිත්‍රපටියක් කියල කියන්න.

මොකද මේ චිත්‍රපටිය පුරාවටම බොහෝ දුරට කතාව කියවෙන්නෙ ස්ටීව්ගෙ පාර්ශවයේ ඉඳන්. ස්ටීව් බොහොම නිදහසේ හිටපු නිදහසේ හිතපු පුද්ගලයෙක් කියල චිත්‍රපටියෙන් පේනවා. ඔහු තමන්ගෙ නිර්මාණ සැලසුම් කරන හැටි, ඒකෙදි ස්ටීව් වොස්නියැක් ඔහුට උදව් කරන විධිය. ඔවුන් ආයතනයක් විධියට ස්ථාවර වීම එක්ක අළුත් සංකල්ප එක්ක පුද්ගල පරිගණකය කියන හුරුබුහුටි නිෂ්පාදනය මිනිස්සු අතරට ගෙන ඒම වගේම බිල් ගේට්ස් එක්ක ඔවුන්ගෙ ගැටීම් චිත්‍රපටිය පුරාම කියවෙනවා.

මාස කීපයකට කලින් මම බාගත්තු දවස්වල නම් ඒ තරම් සීඩ් තිබුණෙ නෑ. මේ දවස්වල නම් කට්ටිය මේක බානව වගේ... :D



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Monday, September 12, 2011

Monsoon Wedding (2001) | Naseeruddin Shah, Lillete Dubey, Shefali Shetty


මේ දවස් කීපයෙදිම චිත්‍රපටි බැලිල්ල විතරක්ම කරපු නිසා ලියන්න තිබුණ කම්මැලිකම් එහෙම්මම තිබුණා. :P නමුත් Monsoon Wedding චිත්‍රපටිය ගැන ලිව්වොත් හොඳයි කියල හිතුණා.

මේක හින්දි සහ ඉංග්‍රීසි කලවමින් නිපැයවුණ හොඳම චිත්‍රපටියක්. මෑතකදි බලපු මේ වර්ගයෙ චිත්‍රපටි වලින් හොඳට වැදුණ එකක්. මේක හම්බ වුණේ Naseeruddin Shah මහත්තය රඟපාපු එව්ව ගැන හොයන්න ගිහින්. බාගෙන සෑහෙන කාලයක් තිබුණා.

චිත්‍රපටියෙ තියෙන්නෙ දවස් කීපයක කතාවක්. ඉන්දියානු ඉහල මධ්‍යම පන්තියෙ පවුලක දියණියකගෙ විවාහ මංගල්‍යය පවත්වන්න සූදානම් වීමෙන් තමයි කතාව පටන්ගන්නෙ. ලලිත් වර්මා කියන පවුලේ පියා, පවුලෙ අනිත් අය සහ ඥාතියො වටකරගෙන සියල්ල සැලසුම් වෙනවා. නමුත් මේ මනමාලි වෙන්න ඉන්න තරුණියට වෙනත් පෙම්වතෙක් ඉන්නවා. මංගල දිනයට දින දෙකකට කලින් තරුණිය ගෙදරින් පැනල යන්නෙ පෙම්වතාත් එක්ක. නමුත් අනපේක්ෂිත විධියට ඇයට තමන්ගෙ පෙම්වතා ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඇය පහුවදාම තමන්ගෙ යෝජිත මනමාලයට තමන්ගෙ කතාව කියන්නෙ ඇයට ඔහුව රවට්ටන්න ඕන නැති නිසා.

ඔය අතරෙ ඉන්නව පී.කේ. දුබේ කියන මේ මංගල්‍යය සංවිධානය කරන සංවිධායකයා. ඒ කිව්වෙ සිංහලෙන් event manager කෙනෙක්. ඔහු අවුරුදු 30ක පමණ අවිවාහක දුප්පත් තරුණයෙක්. තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහෙන් ඉන්න කෙනෙක්. ඔහුට මේ මංගල්‍යය පැවැත්වෙන නිවසේ මෙහෙකාරිය විධියට ඉන්න ඇලිස් කියන තරුණියට හිත වැටෙනව. චිත්‍රපටිය පුරාවටම ඔහුත් ඇලිසුත් අතර පලහිලව්ව ලියලන විධියත් හරිම සංවේදියි.

ඇත්තටම කතාව ඇතුලෙ එකිනෙකට සම්බන්ධ කතා කීපයක්ම තියෙනව, නර්තනයට කැමති පිරිමි ළමයෙක්, පවුලෙ ඇතුලෙම තවත් තරුණ පෙම් යුවලක්, බාල අපරාධකාර ඥාතියෙක්, වැන්දඹුවක් වුණ තවත් දුවක් වගේ චරිත ගණනාවක කතාව මේ චිත්‍රපටියෙ තියෙනවා. අන්තිමේ හැමෝම එකතු වෙලා විවාහය ජයටම සමරන අතරෙ ඉවෙන්ට් මැනේජර් දුබේ සහ ඇලිස්ගෙ කතාවෙත් ලස්සන පිටුවක් ලියවෙනවා.

චිත්‍රපටියෙ රඟපාන සියළු දෙනා ස්වභාවික රංගනයක ඉන්නවා. නස්රුදීන් ෂා ගැන කියන්න උවමනා නෑනේ. නමුත් මට හොඳටම හිතට වැදුණෙ පී.කේ. දුබේ ගෙ චරිතය. Vijay Raaz ඒතරම් ජනප්‍රිය නළුවෙක් නොවුණට (ඇත්තටම මේක හැර ඔහුගේ රඟපෑම් මම දැකල නෑ) මේ චිත්‍රපටියෙ ඔහුගෙ රඟපෑම් දැණෙන සුළුයි. ඒ වගේම ගුවන් තොටුපලක එක්ස් කිරණ යන්ත්‍රයක් නිසා චිත්‍රපටියෙ සැලකිය යුතු කොටසක් විනාශ වෙලා ආයෙත් රූගත කරන්න වුණා කියලත් කියවන්න ලැබුණා. මොනව වුණත් අධ්‍යක්ෂිකා Mira Nair මහත්මියගෙ තවත් හොඳ චිත්‍රපටියක්.

ඉතිං කැමත්තක් තියේ නම් සුරූපී නිලියන් සහ කඩවසම් නළුවන් ඉන්න හින්දි සහ ඉංග්‍රීසි කලවමෙන් යුක්ත හොඳ චිත්‍රපටියක් බලන්න.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, August 30, 2011

Vaaranam Aayiram - A Thousand Elephants (2008) | Surya, Simran, Divya


අද කියන්න යන Vaaranam Aayiram දෙමළ චිත්‍රපටිය පහුගිය දවසක බලන්න ලැබුණ සුපිරි දෙමල චිත්‍රපටියක්. ඒ වගේම මේක සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටියක තියෙන ලක්ෂණ ඉකිමවා ගිය එකක්. මේක ගැන මුල්ම ඔත්තුව හම්බ වෙන්නෙ G+ එකේ කවුරු හරි යාළුවෙක් ෂෙයා කරපු වීඩියෝවකින්. මේකෙ ඉන්න ප්‍රධාන නළුව නිසයි ඇත්තටම චිත්‍රපටිය බාගන්න හිතුවෙ.

සූරියා කියන සොල්දාදුව (මේ චරිතය කරන්නෙ සූර්යා සිවකුමාර් කියන නළුව) මෙහෙයුමකට පිටත් වෙලා ඉන්න අතරෙ ඔහුට ඇමතුමක් එනව තමන්ගෙ පියා‍ අභාවප්‍රාප්ත වුණා කියල. නමුත් ඔහු තමන්ගෙ මෙහෙයුම නතර කරන්නෙ නැතිව ඒකට පිටත් වෙනවා. ඒ යන ගමන පුරාවට ඔහු තමන්ගෙ පියාත් තමනුත් අතරෙ පුංචි කාලෙ ඉඳන් තිබුණ සම්බන්ධය සිහි කරනවා. ඒ සිදුවීම් පෙල තමයි කතාව අවසන් වෙනකම්ම ගලන්නේ. නමුත් ඒ සිදුවීම් අතරෙ චිත්‍රපටි කිපයක කතා තියෙනවා. මේකෙ සුර්යාගෙ පියා (ඔහුගේ චරිතය කරන්නෙත් සූර්යාමයි.) බොහොම විවෘත අදහස් තියෙන පුද්ගලයෙක්. ඔහු තමන්ගෙ දරුවො දෙන්නව හදන්නෙ බොහොම නිදහස්ව ඒ තුලම ඔහු එහුගෙ අසීමිත ආදරය දරුවන්ට දෙන විධිය චිත්‍රපටිය පුරා අපූරුවට කියවෙනවා.

එක අතකින් කතාව මේ විධියට ඉදිරිපත් කිරීමම අධ්‍යක්ෂ ගෞතම් මෙනන් මහත්තයගෙ දක්ෂකම සහ කපටිකම. මොකද මේ ඉදිරිපත් කිරීම ඇතුලෙ සරල ප්‍රේම කතා, වීර කතා, රහස් පරීක්ෂක කතා වගේම දුරාචාරය ගැන කතාත් අඩංගු වෙනවා. කතාවෙ ඉන්න පුතා පාසල් යන වියේදි, පෙම්කරන වියේදි, ප්‍රේමය බිඳ වැටිල විනාශයට ඇද වැටෙද්දි, නැවත ටිකෙන් ටික ගොඩ එද්දි සහ ජීවිතය ජයගන්න කාලෙදි තාත්ත කියන මනුස්සය නිහඬව, ඒත් හෙවණැල්ලක් වගේ පස්සෙන් ඉන්න හැටි හදවතට දැණෙනවා.

මේකෙ සූර්යාගෙ රඟපෑම් නම් සුපිරි. වේශ නිරෑපණය ඒ තරම්ම සාර්ථක නැති අවස්ථා පෙණුනත් රඟපෑම් තුල ඒ අඩුපාඩු සම්පූර්ණයි වගේ. ඒ වගේම තමන්ගෙ ශරීරය චරිතයේ ඒ ඒ අවස්ථා අනුව වෙනස්කරගන්නත් සූර්යා උත්සාහ දැල තියෙන බව පේනවා. ඒ කියන්නෙ ඔහු මේ චරිත දෙක වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් කරල තියෙනවා. ක්‍රිස්ටියන් බේල් The Machinist චිත්‍රපටි‍ය වෙනුවෙන් වෙනස් වුණ විධියට පස්සෙ යාන්තම් එහෙම එකක් දැක්කමද කොහෙද මම. ඒ වගේම මේක අධ්‍යක්ෂවරය තමන්ගෙ පියා සහ තමන් අතර තිබුණ සම්බන්ධය ගැන ලියපු කතාවක්. ඔහු තමන්ගෙ පියාට තිබුණ දැඩි ආදරය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ. කතාවෙ තේමාව වෙන්නෙත් හැම සාර්ථක මනුස්සයෙක් පස්සෙන්ම හොඳ තාත්ත කෙනෙක් ඉන්නව කියන එකයි.

මේක දෙමල චිත්‍රපටි රසිකයන්ට වගේම අනිත් අයටත් අල්ලල යයි කියල හිතන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද මේක අහවල් වර්ගයේ එකක් කියල කියන්න බැරි, හැම වර්ගයේම ලක්ෂණ තියෙන චිත්‍රපටියක්. බලන්න ගත කරන පැය දෙක හමාර පාඩුවක් නම් නෑ...




මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Monday, August 22, 2011

The Best Little Whorehouse in Texas (1982) | Burt Reynolds, Dolly Parton, Dom DeLuise


The Best Little Whorehouse in Texas කියන චිත්‍රපටිය ගැන මුල්ම ඔත්තුව දුන්නෙ G+ එකේ ටිරෝන්. Dolly Parton ටිකක් ආදි කාලෙ නිලියන් අතරින් මම කැමති කෙනෙක් නිසා මේක හොයාගෙන බලන්න ඕන කියල හිතුණා. මුලින් ටිකක් කම්මැලි වෙයිද මන්දා කියල පොඩ්ඩක් සැක හිතුණත් ටික වෙලාවක් යද්දිම කතාව ගොඩක් රසවත් එකක් බව තේරුණා.

චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ වෛශ්‍යා ශ්‍රමිකයන් සපයන ස්ථානයක් වටෙයි. සරලව කිව්වොත් ගණිකා නිවාසයක් තුල ජීවත්වෙන තරුණියන් පිරිසකගෙ ඉරණම තීරණය වෙන කතාවක් තමයි මේක. හැබැයි ඔය ගණිකා නිවාසය කියන නම කියපු ගමන් අපට හිතෙන දේවල් එක්ක නම් මේකෙ කොහෙත්ම බලන්න බෑ.

මේ නිවාසය ඇමරිකා‍ එක්සත් ජනපදයෙ ටෙක්සාස් ජනපදයෙ ලැන්විල් කියන කෝරලයෙ පිහිටල තියෙන එකක්. ඒක පටන් අරන් තියෙන්නෙ 1910දි. බොහොම හොඳ සේවාවත් ප්‍රිය මනාප බව සහ ප්‍රශ්ණ අවම වීම නිසත් මේ වෛශ්‍යා නිවාසය නගරයෙන් පිටත් සෑහෙන ජනප්‍රිය එකක් වෙනව. මුදල් හිඟ වුණ කාලෙකදි මිනිස්සු තමන්ගෙ ගොවිපලවල කිකිලියන් ගෙනත් දීල ඒ හිලව්වට සේවය ලබාගත්තු නිසා මේ නිවාසය ගොඩක් ජනප්‍රිය වෙන්නෙ Chicken Ranch නමින්. පරම්පරාවකට පස්සෙ මේකෙ ප්‍රධාන පාලිකා ධුරය හම්බ වෙනව කාලයක් ඒකෙ වැඩ කරපු දක්ෂ සේවිකාවක් වෙන Mona Stangley මෙනෙවියට. ඇගේ ප්‍රධාන සේවා ලාභිය තමයි නගරයේ ෂෙරීෆ්වරයා. මේ නිසා නීතියේ ආරක්ෂාවත් මේ ස්ථානයට ලැබෙනවා. ඒ වගේම පිටින් මේ ස්ථානයට එන අයට වෙනත් වෙනත් සේවාවන් සපයන්න සිද්ධ වීම නිසා නගරයේ අනෙකුත් කර්මාන්ත, ආදායම් මාර්ගත් දියුණු වෙනවා. මේ නිසා ඒ නගරයේ කවුරුත් චිකන් රෑන්ච් වෛශ්‍යා නිවාසය ගැන ප්‍රසාදයෙන් තමයි ඉන්නේ. තමන්ගෙ සැමිය සතියකට වතාවක් ඒකෙ සේවය ලබාගැනීම ගැන ආඩම්බර වෙන බිරින්දෑවරුත් ඔය නගරයේ ඉන්නවා.

නමුත් සේරම වෙනස් වෙන්නෙ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්ට මේ නිවාසය ගැන ආරංචි වුණාම. ඔහු මේ ගැන රූපවාහිනියෙන් කියනවා. මේ නිවාසය වහන්න ඕන කියල බල කරනවා. චිත්‍රපටියෙ අවසානය අවිනිශ්චිත විධියට ආදර කතාවක් බවට පත්වෙන්නෙ ඔය අර්බුදය මැද්දෙ තමයි.

මේ චිත්‍රපටිය ටිකක් සංගීතමය එකක්. නිකං හින්දි චිත්‍රපටියක් ඉංග්‍රීසියෙන් තියෙනව වගේ ගතියක් සමහර සංගීතමය ජවනිකා වල තිබුණා. ඒ වගේම බොහොම අපූරු නර්තන ජවනිකා කීපයක්ම අන්තර්ගතයි. මේකෙ ෂෙරීෆ්ගෙ චරිතය රඟපාන Burt Reynolds හොඳ රඟපෑමක නිරත වෙනව කියල මට හිතුණා. Dolly Parton රඟපාල තියෙන්නෙ චිත්‍රපටි කීපයක වුණාට ඇය බොහොම ස්වභාවිකව රඟපාන නිලියක් කියල මට හිතිලයි තියෙන්නෙ. (දන්නව නේද මුල්ම ක්ෂීරපායි ක්ලෝනය වුණ ඩොලී කියන බැටළු පැටිය ගැන? ආන්න එයාව නම් කරල තියෙන්නෙත් මේ ඩොලී පාටන්ගෙ නමින්) ඒ එක්කම ඇ‍ඟේ හඬත් බොහොම සුන්දරයි. ඇමරිකානු කන්ට්‍රි සංගීතයට ඇගෙන් තොරව පැවැත්මක් නැති බවකුයි කියවන්න ලැබුණෙ.

මට හොඳට හිතට අල්ලපු ජොලිබර චිත්‍රපටියක්. ලොකු ළමයි බැලුවට පාඩුවක් නෑ.




මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, August 16, 2011

The Pixar Story (2007) | Stacy Keach, John Lasseter, Brad Bird


චිත්‍රපටි ගැන කියනව වගේම චිත්‍රපටි හදන අය ගැනත් කියන්න ඕන කියල හිතුණේ The Pixar Story චිත්‍රපටිය බැලුවට පස්සේ. මේ ගැන මුල්ම ඔත්තුව දුන්නෙ ටෙක්නිකල් හන්දිය බ්ලොග් අඩවියෙන්. ඔවුන්ට මුලින්ම ස්තූතියි ඔත්තුව දුන්නට! මේක pixar සමාගමේ ආරම්භය සහ ඔවුන්ගේ ගමන්මග ගැන කෙරුණු වාර්තා චිත්‍රපටියක්.

චිත්‍රපටි බලන කෙනෙක් පික්සාර් සමාගම ගැන නොදැන ඉන්න විධියක් නෑ. අඩු තරමෙ ඔවුන්ගෙ ජනප්‍රිය වීඩියෝ ලෝගෝව වෙන පුංචි මේස ලාම්පුවෙ වීඩියෝවවත් නොදැකපු කෙනෙක් ඉන්න පුළුවන්ද? මෙයාලගෙ අළුත් චිත්‍රපටියක් එනකල්නෙ දැන් අපි බලාගෙන ඉන්නේ... :D



මේ චිත්‍රපටියෙ තියෙන්නෙ පික්සාර් සමාගම හැදුන හැටි, ඔවුන් මුලින්ම කරපු අත්හදාබැලීම්, ඔවුන්ට ආපු කරදර සහ ඒවයින් ගොඩ ඒම වගේ කරුණු ටිකක්. ඔවුන්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටිය වුණ Toy Story වල ඉඳලා 2006 දි ආපු Cars චිත්‍රපටිය දක්වා ඔවුන් කරපු කියපු දේවල් එක්ක ඒ දක්වා ඔවුන් දියුණු වුණ විධිය ගැන ලස්සනට කියවෙනවා මේ චිත්‍රපටියෙන්.

මම හිතන්නෙ වැඩිය කියනවට වඩා බලන්න ආරාධනා කරන එක හොඳ වෙයි. මොකද මේකෙ කතාවක් නැති නිසා කියවෙන කරුණු ටික බලලම දැනගන්න එක හොඳයි.



දැනගන්න සහ බාගන්න

Monday, August 15, 2011

Hum Hain Rahi Pyar Ke (1993) | Aamir Khan, Juhi Chawla, Dalip Tahil, Mushtaq Khan


අද කියන්නෙ ටිකක් පරණ හින්දි චිත්‍රපටියක් ගැන. Hum Hain Rahi Pyar Ke. මේක නොබලපු හින්දි චිත්‍රපටි රසිකයෙක් ඉන්න බෑ. ගොඩක් මෑතකදි චිත්‍රපටි බලන්න ගත්තු අය ඇරුණම ඔය ටැලිවිසන් වල පෙන්නන ඒව බලල තියෙන අය මේ චිත්‍රපටිය අනිවා බලල ඇති. මොකද චැනල් කීපයකම මේ චිත්‍රපටිය පෙන්නල තියෙනව. ඒ වගේම ඔය සැටලයිට්, කේබල්, අයිපී වගේ රූපවාහිනී අරගෙන තියෙන අයට ඒවයෙ තියෙන හින්දි චැනල් වලිනුත් මේක පෙන්නල තියෙනව කියල මතක ඇති.

සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටියක කතාවෙ ලොකු වෙනසක් නෑනෙ. කොල්ල, කෙල්ල එක්ක ජෝකර් කෙනෙක් සහ දුෂ්ඨය තමයි ප්‍රධාන චරිත ටික විධියට තියෙන්නේ. ඒක මෑතක ඉඳන් වෙනස් වෙමින් තිබුණත් දැනටත් බොලිවුඩ් චිත්‍රපටියක ඔය ලක්ෂණය ප්‍රධාන එකක්.

Hum Hain Rahi Pyar Ke චිත්‍රපටියෙත් එහෙමයි කතාව ‍තියෙන්නෙ. රාහුල් මල්හෝත්‍රා කියන තරුණයගෙ සොහොයුරියත්, ඇගේ ස්වාමියත් හදිසියේම මොලොවින් සමුගන්නෙ ඔවුන් දෙන්නගෙ දරුවො තුන්දෙනයි, ඇඳුම් ව්‍යාපාරයයි රාහුල්ට පවරලා. දරුවො තුන් දෙනත් එක්ක, අර්බුදයකට මැදි වුණ ව්‍යාපාරය නිසා රාහුල් අමාරු අඩියකට වැටෙනවා. මේ අතරෙ පියාගේ බලයෙන් තමන්ට කරල දෙන්න යන විවාහයෙන් ගැලවෙන්න විජයන්ති කියන තරුණිය ගෙදරින් පැනල යනව. මෙයාට හමුවෙනව අර දරුවො තුන්දෙනා. ඊට පස්සෙ මේ තරුණියත් රාහුල් සහ දරුවො ඉන්න ගෙදරම ජීවත් වෙන්න ගන්නව. කතාවෙ ඉතිරි ටික කියන්න ඕනත් නෑ වගේනේ...

අමීර් සහ ජුහී මගේ ප්‍රියතම දෙන්නෙක්. ඔවුන් දෙන්නම රඟපාපු තවත් චිත්‍රපටියක් ගැන පසුවට කියන්නයි ඉන්නේ. දුෂ්ඨය විධියට ඉන්න Dalip Tahil මම කැමතිම දුෂ්ඨ නළුවෙක්. මේ චිත්‍රපටියෙත් ඔහු ඒ චරිතයටම විශේෂ වුණ රඟපෑමක යෙදෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙ තියෙන සින්දු ටික ගැන කියන්නම දෙයක් නෑ. අල්කා යාග්නික් එක්ක කුමාර් සානු සුසංයෝගයේ ස්වර්ණමය යුගයේ ගැයුණු සින්දු ටිකක්. ඒව කාලයක් ලංකාවෙ හොඳටම නැගල ගිය සින්දු.

මම හිතන්නෙ කාලය, භාශාව හෝ නළු නිලියෝ ගැන සලකලා චිත්‍රපටි නොබලන අයට මේකෙන් වැඩක් නැති වෙයි. නමුත් හොඳින් චිත්‍රපටි රස විඳින ඕනම කෙනෙක්ට මේ චිත්‍රපටිය හොඳ තෘප්තියක් ලබාදෙයි. ඒ එක්කම මේක බාගන්න අතරෙ ඉවසීම ප්‍රගුණ කරන්නත් පුළුවන්.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, August 12, 2011

Milk (2008) | Sean Penn, Josh Brolin, Emile Hirsch, James Franco


හොලිවුඩ් චිත්‍රපටි නිතර බලන කෙනෙක්ට Sean Penn කියන නළුවව මිස් වෙන්න විධියක් නෑ. අද කියන්න යන්නෙ ඔහුගෙ විශිෂ්ඨ රංගනයක් බලාගන්න පුළුවන් Milk චිත්‍රපටිය ගැන. මේක චරිතාපදානයක්. 1970 ගණන්වලදි දේශපාලනයට ආපු ඇමරිකානු සමරිසි ක්‍රියාකාරිකයෙක් වුණ Harvey Milk ගැන තමයි මේ චිත්‍රපටිය.

Harvey Milk ඒ වකවානුවෙදි බටහිර රටවලත් පාපයක් විධියට සැලකුණු සමලිංගිකත්වය සහ සමරිසි පුද්ගලයන්ගෙ සමාජ අයිතීන් ගැන කතා කරපු, ඒ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. සමරිසිභාවය සාමාන්‍ය දෙයක් සහ ඒක සමාජයට කරන අමුතු බලපෑමක් නෑ කියන අදහස කියාපෑම තුලින් ඔහු තමන් වටේ යම් බලයක් ගොඩනගාගන්නවා. ඒ නිසාම ඔහුට අවුරුදු 48දි මැරුම්කන්නත් සිද්ධ වෙනවා.

චිත්‍රපටියෙ තියෙන්නෙ ඔහුගෙ ජීවිතේ අවුරුදු 40න් පසු අවුරුදු 8ක කාලය ගෙවුණ විධියයි. ඔහුත් ඔහුගෙ පෙම්වතාත් නිව්යෝක් නගරය අත්ඇරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට එනවා. ඒ වකවානුව සැන්ෆ්‍රැන්සිස්කෝවෙ තියෙන කැස්ත්‍රෝ කියන ප්‍රදේශයට සමරිසි පුද්ගලයන් සංක්‍රමණය වුන කාලයක්. හාවි මිල්ක් මේ ප්‍රදේශයෙ පුංචි සේයාපටල අලෙවිසැලක් පටන්ගන්නවා. ඒ හරහා ඔහු වටපිටාවෙ ඉන්න සමරිසි පුද්ගලයින්ගෙ එකතුවක් හදාගෙන ඒකට නායකත්වය දෙනවා. පසුව ඔහු සැන්‍ෆ්‍රැන්සිස්කෝ නගරයේ අධිකාරි බලය දරණ මණ්ඩලයේ අසුනක් දිනාගන්නවා. තමන්ගෙ සමරිසිභාවය ප්‍රසිද්ධියෙ පිලි අරන් ඒ හරහා දේශපාලන බලයක් දිනාගත්තු ප්‍රථම පුද්ගලය වෙන්නෙ හාවි මිල්ක් කියලයි කියවන්න ලැබුණෙ.

සීන් පෙන් මහත්තය මේකෙ කරන රඟපෑම සුවිශේෂයි. නමුත් ඔහුගෙ වෙනත් රඟපෑම් බලල නැති කෙනෙකුට ඒක එකපාරම නොදැණෙන්න පුළුවන්. ඒ නිසා පසුව විස්තරාත්මකව ලියනකල් උවමනා කෙනෙක්ට එතුම රඟපාන 21 Grams, Mystic River, I Am Sam වගේ චිත්‍රපටි බලන්න පුළුවන්. සීන් පෙන්ට අමතරව මේකෙ දැනට හොලිවුඩයේ ‍ඉන්න තරුණ නළුවො අතරෙ වැඩ පෙන්නපු Emile Hirsch සහ James Franco දෙන්නත් රඟපානවා.

මම හිතන්නෙ මිනිස්සු හැමෝම එක එක විධියට එකිනෙකාගෙන් වෙනස්. ඒ වෙනස පදනම් කරගෙන විරුද්ධ වෙන්න, මරාගන්න ගියානම් අද වෙනකොට මිනිස් වර්ගයා නැහැ. නමුත් ඉතිහාසෙ ඉඳන් අපි ගොඩක් දක්ෂ වෙලා තියෙන්නෙත් එහෙම ඒවට තමයි. ඒත් අපි හොඳ අවසානෙකට කැමති නිසා හැම දෙයක් සම්බන්ධවම ඒක බොහොම හිමීට වෙනස් වෙමින් යයි කියල හිතමු.




මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Wednesday, August 10, 2011

Glory (1989) | Matthew Broderick, Denzel Washington, Morgan Freeman, Cary Elwes


ඊයෙ කියපු John Q චිත්‍රපටියටත් ඒකෙ ප්‍රධාන නළු Denzel Washington මහත්තයටත් ගොඩක් දෙනා කැමති බව පෙණුනා. අද කියන්න යන Glory චිත්‍රපටියෙත් Denzel Washington තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම සහය නළුවට හිමි ඇකඩමි සම්මානය ලැබුණා.

මේ චිත්‍රපටිය ඩෙන්සිල් ගැන හොයද්දි මාට්ටු වුණ එකක්. කාලයක්ම යන්තරේ ටොරන්ට් ගොනුවෙ තිබුණ එකක්. බැකප් කරන්න කලින් ලියන්න ඕන කියල හිතුණ. චිත්‍රපටියට පසුබිම් වෙන්නෙ 1860 ගණන් වලදි පැවතුණු ඇමරිකානු සිවිල් යුද්ධයයි. ඇමරිකානු සිවිල් යුද්ධයෙදි වෙලා තියෙන්නෙ ඇමරිකාවම දෙකට බෙදිල ගහගැනිල්ලක්. එක් පිරිසක් ඒ වකවානුවෙදි තිබුණ වහල් නීති අවලංගු කරපු පිරිසක්. අනිත් කණ්ඩායම වහල්භාවය අවශ්‍යයි කියන මතය අනුව හිටපු පිරිසක්. කොහොම නමුත් වහල්බව නැති කරන්න ක්‍රියාත්මක වුණ පාර්ශවයේ ප්‍රධානියා වුණේ පසුව ඇමරිකාවෙම ජනාධිපති වුණ ඒබ්‍රහම් ලින්කන් මහත්තය.

ඒ අතුරු කතාවක්... චිත්‍රපටියෙ තියෙන්නෙ මේ ලින්කන්ගෙ පාර්ශවයට අයිති හමුදා භට කණ්ඩායමක කතාවක් ගැනයි. ඒ වකවානුවෙ කළු ජාතිකයන් හමුදා සේවයේ හිටියෙ කම්කරුවො විධියට විතරයි. එයාලට තිබුණෙ ඔය තුවාල කාරයො ගේන, මිය ගිය අය එකතු කරන, වලවල් හාරන වගේ වැඩ. ඒත් මැසචුසෙට් ආණ්ඩුකාරවරය විසින් කළු හමුදා භටයන්ගෙන් සමන්විත පලවෙනි රෙජිමේන්තුව වෙන 54th Massachusetts Volunteer Infantry පිහිටුවන්න පියවර ගන්නවා. ඒකෙ අණ දෙන නිලධාරිය විධියට පත් කරන්නෙ Colonel Robert Gould Shaw කියන තරුණයව. ඔහු තමන්ගෙ පියාගෙ බලය නිසා තැනකට ආපු කෙනෙක් මිස යුධ උපායන් පිළිබඳ ඒ තරම් අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් සංවේදී හදවතක් හිමි පුද්ගලයෙක්. චිත්‍රපටිය පුරා ඔහු තමන්ගෙ කළු හමුදා භටයන් පුහුණු කරවන ආකාරයත්, ඔවුන්ගෙන් පවා ඉගෙනගනිමින් ‍හොඳ නායකයෙක් වෙන විධියත් තමයි තියෙන්නෙ. චිත්‍රපටිය හැදිල තියෙන්නෙත් කර්නල් ෂෝ විසින් තමන්ගෙ මවට සහ පියාට ලියපු ලිපි ආශ්‍රයෙන් කියල තමයි කියවන්න ලැබුණෙ.

Morgan Freeman මේ චිත්‍රපටියෙ රඟපාන්නෙ වැඩිහිටි දැනුම් තේරුම් සහිත සොල්දාදුවෙක් විධියට. Denzel Washington නම් නාහෙට අහන්නෙ නැති විප්ලවවාදී හමුදා භටයෙක්. Matthew Broderick ඉන්න ගොඩක්ම ජනප්‍රිය චිත්‍රපටි නැති වුණාට ඔහු මේ චරිතය සෑහෙන්න හොඳින් රඟපානව කියල හිතෙනවා. මෝගන් සහ ඩෙන්සිල් දෙන්නගෙ රඟපෑම් වුණත් ඉහලින්ම තියෙනව.

මේ චිත්‍රපටියට තේමාව වෙන්නෙ යුද්ධයට වඩා ආත්ම ගරුත්වය කියන එකයි. ඒ වකවානුවෙදි කල්ලන්ට, තමන්ගෙ හම කළු වීම නිසාම තිබුණ පහත් තැන නැති කරමින් ඔවුන් තමන්ගෙ ගෞරවය දිනාගැනීම තමයි චිත්‍රපටිය තුලින් අන්තිමට පෙන්වන්නෙ.

සෑහෙන්න තරමකට පැරණි යුධ චිත්‍රපටියක්. සංවේදී තැන් බොහොමයක් එක්ක විශිෂ්ඨ රඟපෑම් කීපයක්ම තියෙන චිත්‍රපටියක්.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

Tuesday, August 9, 2011

John Q (2002) | Denzel Washington, Robert Duvall


Denzel Washington කියන්නෙ හොලිවුඩයේ ඉන්න කළු ඇමරිකානු නළුවන්ගෙන් දක්ෂතම නළුවෙක්. බොහොමයක් කාලෙක ඉඳන් ඔහු තමන්ගෙ ජනප්‍රියත්වය එක වගේම රඳවගන්න සමත් වුන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුට තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පුළුවන් විධියෙ චරිතත් ලැබෙන බවක් පේනවා.

අද කියන්න යන John Q චිත්‍රපටියත් ඔහු රඟපාන හොඳ, හැඟීම්බර කතාවක් තියෙන පවුලේ චිත්‍රපටියක්. කතාව හොඳයි කියල විශේෂයෙන් කිව්වෙ මේකෙ රඟපෑම් සහ සිනමාත්මක බව සම්බන්ධයෙන් ඒ තරම් ලකුණු දෙන්න බැරි නිසා. මොකද රඟපෑම්වල ඒ තරම්ම ස්වභාවික නැති ඕනවට වැඩි ගතියක් මට දැණුනා. ඒ එක්කම ටිකක් විතර කෘතිම බවක් දැණුන අවස්ථා කීපයක්ම මට තේරුණා. නමුත් චිත්‍රපටිය බලල රස විඳින්න ඒ දේවල් ඒ තරම් බාධාවක් වෙන්නෙ නෑ. මොකද කතාව තාර්කිකයි වගේම මුල ඉඳන් අගටම බලාගෙන ඉන්න පුළුවන් විධියෙ රසවත් කතාවක්.

John Quincy Archibald කියන්නෙ යකඩ කම්හලක වැඩ කරන ඒ තරම් සල්ලිය බාගෙ නැතත් තමන්ගෙ බිරිඳත්, එකම පුතා මයිකලුත් එක්ක සතුටින් ධාර්මිකව ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහුත් බිරිඳත් ආර්ථික ගැටළු ගොඩකට මුහුණ දීල හිටියත් ඔවුන් දෙන්නා මයිකල්ට අඩුවක් නොකර එයාට ගොඩක් ආදරය දක්වනවා. ඒත් එක දවසක බේස් බෝල් තරගයක් මැදදි මේ හුරුබුහුටි දරුවා හිටිගමන් සිහිනැතිව වැටෙනවා. දරුවට ප්‍රතිකාර කරන වෛද්‍යවරු කියන්නෙ මයිකල්ගෙ හදවත දුර්වල බවක්. වහාම හදවත් බද්ධයක් නොකලොත් දරුවගෙ ජීවිතේ දින කීපයක් වෙන්නත් පුළුවන් බවයි ඔවුන් කියන්නෙ. නමුත් හදවත් බද්ධයට වැය වෙන වියදම දරන්න ජෝන්ට පුළුවන් කමක් නෑ. ඔහුගෙ රක්ෂණයෙනුත් ඒ මුදල පියවගන්න වෙන්නෙ නෑ.

සියළු උත්සාහයන් අසාර්ථක වෙද්දි තමන්ගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න ජෝන් කරන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් කරන්න නොහිතන දෙයක්.‍ ජෝන් තමන්ගෙ සියළු ප්‍රතිපත්ති පැත්තකින් තියලා තමන්ගෙ දරුව වෙනුවෙන් දරුණු පියවරක් ගන්නවා.

මේක කියවන ඔයාල කී දෙනෙක් තාත්තලද කියන්න මම දන්නෙ නෑ. නමුත් අපි සේරම තාත්තලගෙ ළමයි නිසා තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවෙක් වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියල අපි දන්නව. ඒ දැනගැනීම හොඳින්ම සාක්ෂාත් වෙනගමන් හිතට. හදවතට. ඇස් දෙකට හොඳින් වදින්න තාත්ත කියන මනුස්සයව දැණෙන චිත්‍රපටියක් මේක.

කොයි කවුරුත් බැලුවට පාඩුවක් නම් නෑ...




මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Monday, August 8, 2011

The Piano (1993) | Holly Hunter, Harvey Keitel, Sam Neill


The Piano චිත්‍රපටිය සංගීතය එක්ක ගලන චිත්‍රපටියක්. සංගීතය එක්ක බැඳුණු කාන්තාවක් ගැන කියවෙන චිත්‍රපටියක්. බාගෙන සෑහෙන්න කාලයක් තිබිල පහු ගිය දවසක බලන්න පුළුවන් වුණා. මුලදි ටිකක් විතර කම්මැලි වුණත් ටික දුරකදි සෑහෙන්න ලස්සන තැනකට කතාව ආවා.

ඇඩා කියන්නෙ එකදාස් අටසිය ගණන් වලදි ස්කොට්ලන්තෙ ජීවත් වුණ තරුණ මවක්. ඇය ගොළුයි. නමුත් දක්ෂ පියානෝ ශිල්පිනියක්. ඒ වගේම ඇයට අවුරුදු 10ක විතර සැර දියණියක් ඉන්නවා. නවසීලන්තයෙ ඉන්න පුද්ගලයෙක් එක්ක නැවත විවාහ වෙන ඇය තමන්ගෙ දියනියත් පියානෝවත් එක්ක නවසීලන්තයට යනවා. එහේ ගොවියෙක් විධියටයි ඇගේ අළුත් ස්වාමි පුරුෂයා වැඩ කරන්නෙ. නමුත් ඔහුට මුදල් හිඟ නිසා ඔහු ඇඩාගෙ පියානෝව අසල්වැසි පුද්ගලයෙක්ට විකුණනවා. ඒ මනුස්සයට පියානෝව ඉගැන්වීමෙන් ඇයට ආයෙත් පියානෝව අයිති කරගන්න පුළුවන් විධියෙ ගණු දෙනුවක් එතනදි වෙනවා. ඉතිං ඇඩා හැමදාම පියානෝ පාඩම් දෙන්න අසල්වැසියගේ නිවසට යනවා. කතාව වෙනත් මානයකට ඇදෙන්නෙ එතන ඉඳන්... ඇඩාගෙ මුළු ජීවිතේම වෙනත් පැත්තකට යැවෙන සිදුවීම් පෙල එතනින් ඇරඹෙනවා.

කතාවෙ ඉන්න නළු නිලියෝ කීප දෙනාම ඒ තරම් ජනප්‍රිය වුණ චිත්‍රපටි වල රඟපාපු අය නෙවෙයි. නමුත් ඔවුන් සෑහෙන්න කාලයක් ක්ෂේත්‍රයෙ ඉන්න ප්‍රවීණ ශිල්පීන්. මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඇඩාගෙ චරිතයට පණ පොවපු Holly Hunter සහ ඇගේ දියනිය විධියට රඟපාපු Anna Paquin ඇකඩමි සම්මාන දිනාගෙන තියෙනවා. ඒ එක්කම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Jane Campion ටත් හොඳම තිර රචනය වෙනුවෙන් සම්මාන ලැබිල තියෙනවා. චිත්‍රපටියක තත්ත්වය සම්මාන වලින් මනින්න බැරි වුණාට ‍සම්මාන ගැන ලියන්නෙ ඒ ගැන සැලකිලිමත් වෙන අයටත් චිත්‍රපටිය බලන්න ගැම්මක් දෙන්නයි.

චිත්‍රපටියෙ තියෙන සංගීත ඛණ්ඩ නම් සුපිරි. චිත්‍රපටියට මම කැමති වුණෙත් ඒ නිසාමයි. ඒ නිසා කැමති කෙනෙක්ට ගන්න Soundtrack එකටත් සබැඳියක් තියෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Saturday, August 6, 2011

Moonstruck (1987) | Cher, Nicolas Cage


කාලයක් මුකුත් නොලිය හිටියෙ එක එක කේස් එක්ක කම්මැලිකම හොඳටම ඔළුවට ගහල තිබුණ නිසා. ඒත් පටන් ගත්ත වැඩේ කරන්න එපැයි.

අද කියන්න යන්නෙ මම මෑතකදි හොඳට රස විඳපු ලස්සන චිත්‍රපටියක් ගැන. Moonstruck චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ Cher ගැන හොයන්න ගිහින්. දන්නවනෙ එයා දශක කීපයක ඉඳන්ම ගායන ලෝකයේ තැනක ඉන්න ප්‍රසිද්ධ පොප් ගායිකාවක් කියල. ඒ එක්කම එයා ඇකඩමි සම්මානයක් පවා ලබපු නිලියක් කියල දැනගත්තමයි මම පත්තු වුණේ. එහෙනම් එයාගෙ රඟපෑම් බලන්නම වෙනවනේ.. ඔන්න ඉතිං අපේ චිත්තරපටි ගැන හොයන්න තියෙන මුල්ම තැන හෙවත් IMDB යෙන් තොරතුරු හොයාගත්තා 'චර්' ඇකඩමි සම්මානෙ ගත්තු Moonstruck චිත්‍රපටිය ගැන. ඇත්තටම ඇගේ රඟපෑම නියමයි. මියුසික් වීඩියෝ වල ඉන්නවට වඩා ලස්සනයි.

ඇත්තටම ඒක මට දැණුන චිත්‍රපටියක් වුණා. Cher සහ Nicolas Cage එක්ක චිත්‍රපටියෙ කතාව සෑහෙන්න අල්ලල ගියා. හැබැයි නිකලස් ලොක්කගෙ රඟපෑම නම් ඒ තරම්ම වැදුණෙත් නෑ. මම හිතන්නෙ මේක එයාගෙ ආධුනික අවධියෙ චිත්‍රපටියක් නිසා වෙන්න ඇති.

ලොරිටා කියන්නෙ බෲක්ලින් නගරයේ ඉන්න පොත් තබන්නියක්. ඇයගෙ සැමියා රිය අනතුරකින් මිය ගියේ අවුරුදු කීපයකට කලින්. ඇගේ වයස දැන් තිහත් පැනලා. ඇයට හිතවත්කමින් ඉන්න ජොනී කියන මහත්තයා ඔය අතරෙ ඇයට විවාහ යෝජනාවක් ගේනව. ඇය ඒකට කැමති වෙනව. ඉතිං විවාහය ගැන ජොනීගෙ මල්ලි වෙන රොනීට කියන්න ඕන කියල ජොනී කියනව. ඉතිං ලොරිටා ගිහින් ‍රොනීව හම්බ වෙනව. කතාවෙ සුන්දරම ටික පටන්ගන්නෙ එතනින්...

මේ චිත්‍රපටි‍ය පවුලේ චිත්‍රපටියක් වගේ එකක්. අන්තිමේ හැමෝම එක තැනකට ඇවිත් සන්තෝසෙන් තමයි චිත්‍රපටිය ඉවර කරන්නේ. අධ්‍යක්ෂක Norman Jewison කියන මහත්තය දරුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරයෙක් කියල තමයි දැනගන්න ලැබුණේ. ඒ ගැන හොයද්දියි එතුම හදපු චිත්‍රපටි කීපයක්ම මම හොඳින් රස විඳල තියෙනව නේද කියල දැනගත්තෙ. ඒව ගැනත් හිමිහිට ලියමු. අදට ඔන්න Moonstruck.




මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Monday, July 11, 2011

Alaipayuthey (2000) - அலைபாயுதே


අද කියන්න යන Alaipayuthey චිත්‍රපටිය මම දැනට බලල තියෙන හොඳම දෙමළ චිත්‍රපටි වලිනුත් හොඳම එකක්. සමහර විට හොඳම එකද කියලත් ෂුවර් නෑ. මොකද දෙමළ චිත්‍රපටි වලින් දැනට මම වැඩිම වාර ගණනක් බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය. ඒ තරමට මේ චිත්‍රපටිය සුපිරි එකක්. ඒ කියන්නෙ චිත්‍රපටියක් හොඳයි කියල කියන්න ගන්න නිර්නායක වලින් සෑහෙන්න ප්‍රමාණයකින් මේ චිත්‍රපටිය උඩින්ම සමත් වෙනව.

කාර්තික් කියන්නෙ චෙන්නායි (මධුරාසිය) නගරයේ ජීවත්වෙන පරිගණක ඉන්ජිනේරුවෙක්. ඔහු තමන්ගෙ මිතුරන් කීප දෙනෙක් එක්ක එකතු වෙලා තමන්ගෙම මෘදුකාංග ආයතනයක් පටන්ගන්න සැලසුම් කරමිනුයි ඉන්නෙ. ඔහු සහභාගි වෙන විවාහ මංගල්‍යයකදි තමයි මුලින්ම ඔහුට ශක්තිව දකින්න ලැබෙන්නෙ. ශක්ති කියන්නෙ වෛද්‍යවරියක් වීමට ඉගෙනගනිමින් ඉන්න තරුණියක්. ඊට පස්සෙ මේ දෙන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිසා වලට ගමන් කරන දුම්රිය දෙකකදි ආයෙත් එකිනෙකාව දකිනව. මේක කීප වතාවක්ම සිද්ධ වෙනව. දෙන්නටම ආදරේ ඇතිවෙන්නෙ ඒ බැල්මෙදි. ඊට පස්සෙ සුපුරුදු දෙමළ චිත්‍රපටි කතාවට ආයෙත් ඇවිත් මේ දෙන්නා ගෙවල් වලට හොරෙන් විවාහ වෙනව. ඒත් චිත්‍රපටිය එතනින් ඉවර වෙන්නෙ නෑ. දුක සතුට එක්ක ජීවිතේ ගැන හිතන්න සිද්ධ කරවන බොහොම සංවේදී සිදුවීම් පෙලක් තමයි ඊට පස්සෙත් දිග ඇදෙන්නේ.

චිත්‍රපටිය ඒකෙ මුල් හරියෙදි කියවෙන්නෙ අතීතාවර්ජනයක් විධියට. පස්සෙ කතාව වර්තමානයට ඇවිත් ආයෙත් සාමාන්‍ය විධියට ගමන් කරනවා. ඒ ඉදිරිපත් කිරීම නියමයි.

චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය දැවැන්ත දෙමළ සහ හින්දි චිත්‍රපටි ගණනාවක්ම හදපු මනි රත්නම් මහත්තයගෙ. සංගීතය ඒ. ආර්. රහමන්ගෙන්. ඒ නිසාම මේකෙ සංගීතයත් සින්දු ටිකත් සුපිරිම තමයි. ප්‍රධාන රංගනය දැනටත් ඉන්දියාවෙ සුපිරි නළුවෙන් වෙන මාධවන්ගෙන්. ශක්ති විධියට රඟපාන ශාලිනී නම් පුංචි කාලෙ ඉඳන් රඟපෑවට ඇය රඟපාපු අන්තිම චිත්‍රපටිය මේක කියලයි කියන්නෙ. ඇය විවාහයෙන් පස්සෙ රඟපෑමෙන් ඉවත් වුනාලු.. කොහොම වුණත් මේ චිත්‍රපටියෙදි ඇගේ රංගනය නියමයි.

මේ කතාව තියෙන හින්දි චිත්‍රපටිය සාතියා කියන නමින් හැදුනට ඒක බලන්න මට ඕන වුණේ නෑ.... අනික ඒකෙ ඉන්න අපි ගොඩක් දන්න කියන නළු නිලියො එක්ක දෙමළ චිත්‍රපටියෙන් දැණෙන හැඟීම නම් කොහොමත් ගන්න බෑ වගේ.

මේක මට මුලින් ලැබුණෙ අවුරුදු 6කට විතර කලින් මොහාන් හෙට්ටිආරච්චි මහත්තයගෙන් VCD තැටි දෙකක් විධියට. ඒක කොපි කරගෙන තමයි බැළුවෙ. මෑතකදි ආයෙත් බැලුවම පෙණුනා ඒකෙ පාටවල් හොඳටම වෙනස් වෙලා කියල. ඩිජිටල් මාධ්‍යයෙදිත් එහෙම අවුලක් වෙන්න හැකියාවත් තියෙනවා. කොහොම හරි ඒකෙන් වුණේ මම ආයෙත් චිත්‍රපටිය බාගත්තු එක. සතියකට වඩා ඉවසන්න නම් වුණා.



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Monday, July 4, 2011

Forrest Gump (1994)


Forrest Gump චිත්‍රපටිය ගැන පටන්ගන්න තැනක් හෝ ඉවර කරන්න තැනක් මට හිතාගන්න බෑ. ඒක හරියට හැඟීමක් වගේ විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් මම බලපු, විඳපු, ඇඟටම ජීර්ණය වුණ හොඳම චිත්‍රපටියක් ගැන නොකිය කොහොමද?

Forrest Gump කියන්නෙ ඇලබාමාවෙ ඉපදුණු, ළමා කාලයේ පෝලියෝ රෝගයෙන් පෙළුණ පුද්ගලයෙක්. ඔහු බොහොම නිදහසේ හිතපු කෙනෙක්. ඇත්තෙන්ම ඔහු වැඩිය හිතුවෙම නෑ. නමුත් කල යුතු දේ නොකල යුතු දේ පිළිබඳව ඔහුට තිබුණෙ ඉවක්. ඔහුගේ මොළයේ අඩු ක්‍රියාකාරීත්වයක් තියෙන බව පෙණුනත් මම ඒක එහෙම දකින්න කැමති නෑ. ඇත්තටම වැඩිය නොහිත ඉන්න පුළුවන් වුණානම් අපට තියෙන ගොඩක් ප්‍රශ්ණ වලින් ගැලවිල ඔහු වගේ නිදහසේ ඉන්න තිබුණ අපටත්.

තරුණ කාලෙදි ‍ෆොරස්ට් බැ‍ඳෙනව යුද්දෙට. යුද්ධය අතරෙ ඔහුට පසු කාලෙක තමන්ගෙ හොඳ මිතුරෙක් වෙන ලුතිනන් ඩෑන් හමුවෙනව. ඒ එක්කම බුබ්බා කියන හොඳ මිතුරා ඔහුට යුද්ධය නිසා අහිමි වෙනව. ඒත් බුබ්බාගෙ අදහසක් වුණ, යුද්ධයෙන් පස්සෙ ඉස්සො අල්ලන ව්‍යාපාරයක් අරඹන එක ෆොරස්ට් ක්‍රියාත්මක කරනව. ඒකෙදි ඔහුට සහය වෙන්නෙ යුද්ධයෙන් පාද දෙකම අහිමි වුණ ලුතිනන්වරයායි.

ඒ අතරෙ පුංචි කාලෙ ඉඳන්ම ඔහුගෙ හොඳම සහ එකම මිතුරිය වුණ ජෙනී ඔහුගේ ජීවිතය එක්ක වරින් වර සෙල්ලම් කරනව.

නමුත් ෆොරස්ට් ඒ කිසි දේකින් සැලෙන මනුස්සයෙක් නෙවෙයි. ඔහු නොතැවී අවශ්‍ය දේ කරමින් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්නව. ඔහු පිහාටුවක් වගේ සැහැල්ලු පුද්ලගයෙක්. චිත්‍රපටියෙ මුලදි සහ අගදි පෙන්වන පිහාටුව නිකංම නිකං පිහාටුවක් නෙවෙයි. ෆොරස්ට්ගෙ ජීවිතේ සැහැල්ලුවයි ඒ නිරූපණය කරන්න‍නේ.

චිත්‍රපටියෙ රඟපාන්නෙ හොලිවුඩයේ යෝධයෙක් වෙන Tom Hanks. ඔහු ගැන නොදන්න, ඔහු රඟපාපු චිත්‍රපටියක් නොබලපු කෙනෙක් ඉන්න බෑනේ... ඔහුට මේ චරිතය වෙනුවෙන් ඇකඩමි සම්මානය ලැබුණ. ඒ එක්කම හොඳම සහය නළුව විධියට Gary Sinise නිර්දේශ වුණා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් හොලිවුඩයේ දැනටත් රජ වැඩ කරන Robert Zemeckis මහත්තයා. එයාගෙ කැරැට්ටුවත් බලාකියාගත්තනම් හොඳයි.

චිත්‍රපටි පිළිබඳව සුළු හෝ ඇල්මක් තියෙන ඕනෙම කෙනෙක්ට Forrest Gump චිත්‍රපටිය බලන්න කියල නිර්දේශ කරන්න පුළුවන්. ඇකඩමි සම්මාන 6ක්, වෙනත් සම්මාන 32ක් සහ නිර්දේශ වීම් 39ක් ලබල තියෙන්නෙ ඒ වටිනාකම් එක්කයි. ඒ එක්කම මේක මේ වෙනකොට ලෝකයේ හොඳම චිත්‍රපටි ලැයිස්තුවේ 32වෙනි තැනයි ඉන්නේ. පොතේගුරා මේ චිත්‍රපටිය ගැන 2009 මැයි මාසෙදි බයිස්කෝප් එකට ලියද්දි Forrest Gump තිබුණෙ ඒ ලැයිස්තුවෙ 42 වෙනි තැන. :D

මේ චිත්‍රපටිය ගැන චමිත සහෝ ලියල තියෙන ‍ඒවත් කියවන්න.



මේ තියෙන්නෙ Forrest Gump තවත් කෙනෙක්ගෙ ඇසින් එක මිනිත්තුවකින්...



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Saturday, July 2, 2011

Pi (1998) - π


Pi කියන්නෙත් මම බලපු අමුතුම චිත්‍රපටි අතරෙ එකක්. ඒ වගේම හොඳට රස විඳපු එකක්. මේක මට හමු වුණේ ඔයාල බොහොම දෙනෙක් දන්න Ravenගෙන්. මාස කීපයකට සැරයක් අපි දෙන්න අතර තියෙන චිත්‍රපටි හුවමාරු කරගැනීමේ නොනිල සම්මුතිය යටතේ මට ලැබුණු එකක් තමයි Pi.

Pi ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ. හයේ හතේ පන්ති වල වෘත්තය ගැන පාඩමේදි හම්බ වෙලා ඊට පස්සෙ සෑහෙන්න කාලයක් යනකල් අපිත් එක්ක ඉන්න ගණිතමය නියතයකට කියන නමක්නෙ ඔය Pi කියන්නේ. සාමාන්‍යයෙන් ගණන් හදද්දි ඔය Pi = 22/7 කියල ගත්තට ඇත්තටම Pi නියතය කියන්නෙ කෙලවරක් නැතිව අනන්තයටම බෙදීගෙන යන සහ නැවත නැවත ලියවෙන සමාන කොටස් නැති දශමස්ථාන ගණනාවක් සහිත නියතයක්. ඇත්තටම ඒක මෙතනට වැඩක් නෑ. නමුත් මේක ගැන විශේෂයෙන් කිව්වෙ මේ චිත්‍රපටියෙ නිතර පෙන්වන සර්පිලාකාර සංකේත රූපයක් එක්ක මේ π අගය ගැලපෙනවය කියල හිතෙන නිසා.

චිත්‍රපටියෙ ඉන්නෙ මැක්ස් කියල තරුණ ගණිතඥයෙක්. ඔහු තමන්ගෙ ගේ ඇතුලටම වෙලා ඉන්න කැමති සමාජය වැඩිය ඇසුරු කරන්න මනාප නැති පුද්ගලයෙක්. අල්ලපු ගෙදර ඉන්න ගෑණු ළමයෙක් මෙයාට පොඩ්ඩක් කැමතියි වගේ ඉන්න නිසා එයා එක්ක විතරක් මෙයා කතා බහ කරනව. නමුත් මෙයා වැඩිපුරම කරන්නෙ තමන්ගෙ පරිගණකය එක්ක මුළු විශ්වයේම දේවල් නිරෑපණය කරන්න පුළුවන් තනි සමීකරණයක් හොයන එකයි. ස්වභාවධර්මයේ භාෂාව ගණිතය බවත්, ඕනම දෙයක් සංඛ්‍යා වලින් නිරූපණය කරන්න පුළුවන් බවත්, එහෙම නිරූපණය කරද්දි විවිධ මෝස්තර හැදෙන බවත් තමයි මැක්ස් විශ්වාස කරන්නෙ. එයා උත්සාහ කරන්නෙ ඒ මෝස්තර අධ්‍යනයෙන් තමන්ගෙ අරමුණ කරා යන්නයි.

අවසානයේ ඔහුට හමුවෙනව ඉලක්කම් 216ක අංකයක්. මේක ඔහු යොදාගන්නෙ කොටස් වෙළඳපොල හදාරන්න. එහිදි අහම්බෙන් ඔහුට කොටස් වෙළඳපොලේ උච්ඡාවචනයන් එක්ක තමන් හොයාගත්තු සංඛ්‍යාවේ සමානකම තේරෙණව.

ඔහුගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් වෙන සිදුවීම් පෙල ඇරඹෙන්නෙ එතන ඉඳන්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ 2010 හොඳම අධ්‍යක්ෂණයට Black Swan වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වුණ Darren Aronofsky මහත්තයා. එතුමා අධ්‍යක්ෂණය කරපු තවත් බොහොම අපූරු චිත්‍රපටි කීපයක් ගැන ලියන්න තියෙනවා පසුවට. මේ චිත්‍රපටිය මම බැලුවෙ අවුරුද්දකටත් කලින්. ඒ නිසා කතාවේ ගලායාම හරියටම මතකත් නෑ. කියපු ටික ඇතියි කියල හිතෙනව.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, July 1, 2011

Seven Samurai (1954) - 七人の侍 Shichinin no Samurai


අද විස්තර දෙන්න යන්නෙ ලෝක පූජිත සිනමා කෘතියක් වෙන Seven Samurai චිත්‍රපටිය ගැනයි. මේක ලෝකයේ නිපදවුණු හොඳම චිත්‍රපටියක් විධියටයි සැලකෙන්නේ. ‍මේක ගැන ඉස්සර ගාමිණි වේරගම මහත්තයා රූපවාහිනියෙ සිනමා විචාර කරද්දි හොඳට කිව්වා. ඒ විචාර අනුව මම හිතාගෙන හිටියෙ මේක මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති කම්මැලි හිතෙන චිත්‍රපටියක් කියලයි. නමුත් පසුසෙ දවසක මේක බලන්න ලැබුණමයි මට තේරුණේ 1954 කරපු චිත්‍රපටියක් විධියට මේක කොයි කරම් ඉදිරියෙන් තියෙන චිත්‍රපටියක්ද කියලා. ඒ එක්කම පස්සෙ පස්සෙ චිත්‍රපටිවල සිනමාත්මක දේවල් එක්ක චිත්‍රපටි දැණෙන්න ගනිද්දි මේ චිත්‍රපටිය මට හොඳටම අල්ලල ගියා.

කතාවෙ තියෙන්නෙ ජපානයේ තියෙන පුංචි ගමක කතාවක්. මේ ගමට නිතරම මංකොල්ලකාරයො කණ්ඩායමක් කරදර කරනවා. ගමේ අස්වැන්න නෙලන කාලෙදි එහෙම මේ මංකොල්ලකාරයො ඇවිත් අස්වැන්න අරන් යනවා. මේකට විසඳුමක් විධියට ගමේ ඉන්න එක සමුරායිවරයෙක් යෝජනාවක් ගේනවා නගරයට ගිහින් සමුරායිවරු කීපදෙනෙක් එක්කරගෙන එමු කියලා. දන්නවනෙ සමුරායිවරු කියන්නෙ සටන් ශිල්ප ප්‍රගුණ කරපු අය කියලා. ඉතින් මේ සමුරායිවරයා නගරයට ගිහින් එක එක දේවල් ඉෂ්ඨ කරල දෙන පොරොන්දු පිට සමුරායිවරු 6 දෙනෙක් ගමට එක්කරගෙන එනවා. මේ සමුරායිවරු එක එක වර්ගයේ අය. වෙනස් වෙනස් චරිත ලක්ෂණ තියෙන කට්ටිය. ඉතිං මේ අය ගමේ මිනිස්සුන්ගෙන් යැපෙමින් ගමේ අයට සතුරන්ට මුහුණ දෙන විධිය කියා දෙන කතාව තමයි චිත්‍රපටියෙ තියෙන්නේ...

ගමේ කෙල්ලෙක්ට පිස්සු වැටෙන සමුරායිවරායක්, නීතිරීති තදින් ක්‍රියාකරවන්න ඕනකම තියෙන සමුරායිවරයෙක් වගේම නාහෙට නාහන පිස්සු සමුරායිවරයෙක් එක්ක මේ චිත්‍රපටිය එක අතකින් කොමඩියක්. මොකද ඕන තරම් තියෙනවා හිනාවෙන්න කෑලි.. ඒ එක්කම ඒ දවස්වල ජපානයේ ගමක තත්ත්වය සෑහෙන්න හොඳින් නිරූපණය වෙනව මේකෙන්.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

Thursday, June 30, 2011

The X Files: Fight the Future (1998)


මේ චිත්‍රපටිය ගැනනම් නොදන්න කෙනෙක් ඉන්න බෑ වගේම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන කෙනෙක් මේක නොබල තියෙන්නත් විධියක් නෑ. ඒත් මම බලපු හොඳම චිත්‍රපටි අතර එකක් නිසා සහ මේක වෙනම උප සංස්කෘතියක් දක්වාම පැතිරුණ මාතෘකාවක් නිසා නොබලපු කෙනෙක්ට දැනගන්න එක්කයි The X Files: Fight the Future ගැන ලියන්න හිතුවේ.

මුලින්ම මේ චිත්‍රපටිය මට හම්බවුණේ 1999දි විතර හොඳටම හම ගිය VCD තැටි දෙකක් විධියට. ඒ දවස්වල පිටසක්වල පිස්සුව තදින්ම වැලඳිල හිටපු යාළුවො 4-5 දෙනෙක් අතරෙම මේක අතින් අත ගියා. මොකද කොපි කරගන්නවත් ඒ කාලෙ අපට කොම්පියුටර් තාක්ෂණේ තිබුණෙ නෑනෙ. ඉතිං අර VCD වල හොඳට හුරු පුරුදු කොටු, සද්ද, හිරවීම් එක්ක මේක යාළුවන්ගෙ VCD player වල තමයි පට්ට ගැහුවෙ.

ඒ වුණත් තාක්ෂණේ ලැබුණ ගමන් බාගන්න උනන්දු වුණ මුල්ම චිත්‍රපටි අතරෙ එකක් තමයි මේකත්.

රූපවාහිනී සංස්ථාවට බැණ බැණ TV එකේ අපි බලපු කතාංග වල ‍පසුබිම තමයි මේ චිත්‍රපටියෙදි තේමාව වෙලා තියෙන්නේ. X-Files මාලා නාට්‍යයේ හැමවෙලේම කතා කරපු කුමන්ත්‍රණ, කළු තෙල්, වයිරස්, මුහුන්කරණය වගේ දේවල් ගැන තියෙන විචිකිච්ඡා සේරම මේ විත්‍රපටිය බැළුවොත් නැති වෙලා යනව. එක විධියකට වෙන්නෙ මේකයි කියල කියන්න බැරි තරම් කතාව සංකීර්ණ වුණත් මොල්ඩර්ට පිටසක්වලයන් පෘථිවියේ කරන වැඩ ගැන තමන්ගෙ සැකය තරවුරු කරගන්න ලැබෙන සාක්ෂිත්, ඒ අනුව ඔහු පිටසක්වල මූලස්ථානයක් වෙත යන ගමනත්, එහිදී තමන්ගෙ සගයා ස්කලීව බේරාගැනීමත් තමයි කතාවෙ සාරාංශය. ත්‍රාසය, භීතිය එක්ක ක්‍රියාදාම සෑහෙන්න හොඳට තියෙනවා.

ඉතිං ඒජන්ට් මොල්ඩර් සහ ස්කලී එක්ක අමුතුම අත්දැකීමක් ලබන්න අනිවා බලන්න...



2008 ආපු The X Files: I want to believe චිත්‍රපටිය නම් ගන්නම දෙයක් නෑ... ඒකෙ තේමාව X-Files චිත්‍රපටියකටනම් හරියන්නෙම නැති ටෙලි නාට්‍යමය එකක්. ඒත් ඕන කෙනෙක්ට ඒකත් හොයල බලන්න පුළුවන්.

මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 29, 2011

Betty Blue (1986) - 37°2 le matin


අද කියන්න යන Betty Blue කියන චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක්. මම බලල තියෙන චිත්‍රපටි වලින් සිනමාත්මක විධියට හොඳම ඒවා හැදිල තියෙන්නෙ ඇමරිකාවට වඩා යුරෝපීය රටවල. Betty Blue කියන්නෙත් ඒ අතින් සුපිරි චිත්‍රපටියක්. මිනිස් හැඟීම් සහ ජීවිතය ගැන ගැඹුරින් කෙරෙන විග්‍රහයක් තියෙන චිත්‍රපටියක්. මේක හදල තියෙන්නෙ 1986 කියල මම දැනගත්තෙත් මේ ගැන ලියන්න ඕන වුණ නිසා. මේ වෙනකල්ම මම හිතාගෙන හිටියෙ මේක 2007 වගේ කරපු එකක් කියලයි. මොකද ඒ තරමටම චිත්‍රපටිය අළුත්. අවුරුදු 3කට විතර කලින් මේක ගැන මට මුල් ඔත්තුව දුන්නෙ ඔයාල සමහරවිට දන්න කෙනෙක් වෙන මොහාන් හෙට්ටිආරච්චි මහත්තයා...

චිත්‍රපටියෙ ඉන්න Zorg කියන තරුණය කුලී නිවාස පෙළක් බලාකියාගෙන නිදහස තියෙන වෙලාවලට මොනව හරි ලියාගෙන සාමාන්‍ය විධියට ඉන්න පුද්ගලයෙක්. මෙයාගෙ ජීවිතේ එකපාරම වෙනස් වෙනවා Betty කියන අපූරු තරුණිය නිසා. මොවුන් දෙදෙනා කලින් දැනගෙන හිටියත් එකට ජීවත් වෙන්න හිතපු අය නෙවෙයි. ඒත් අනපේක්ෂිත විධියට දෙන්න එකතු වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ අපි හිතන විධියෙ ගලායාමක් නෙවෙයි. දැනට කරමින් ඉන්න රස්සාවෙන් සෝග් ඉවත් වෙන අතරෙ බෙටී අවන්හලක රැකියාවකට යනව. සෝග් ලියන දේවල් පොතක් විධියට එලිදක්වන්න ඕන කියන මතයේ ඉන්න බෙටී සෝග්ට ඒකට අවශ්‍ය කාලය අරන් දෙනවා. ඔය අතරෙ බෙටී වැඩ කරන තැන ලොක්ක මේ දෙන්නත් එක්ක හොඳට යාළු වෙනව. පසුව දවසක ඒ අවන්හල් අයිතිකාරයට අයිති පියානෝ සාප්පුවක් බලාගෙන ඉන්න මේ යුවලට සිද්ධ වෙනව.

සෝග් ලියන පොත පලකරන්න ගියාම තමයි ඊළඟට යුද්ධය ඇවිලෙන්නේ. ප්‍රකාශකය ඒක පලකරන්න බෑ කිව්වම බෙටීට තරහ යනව. ඒ තරහ කෙමෙන් කෙමෙන් මානසික ව්‍යාධියක් වෙන තැනට පත් වෙනව. සෝග් උත්සාහ කරන්නෙ තමන්ගෙ ආදරෙන් බෙටීව හොඳ කරගන්න. සෝග් සාර්ථක වෙයිද?

මේකෙ රඟපෑම් වලට අමතරව සංස්කරණය සුපිරි කියල කියන්න පුළුවන්. ප්‍රංශ චිත්‍රපටිවල තියෙන හොලිවුඩ් චිත්‍රපටි වල නැති අපූරු ගලායාම මේ චිත්‍රපටියෙ හොඳටම තියෙනව. මේක මම අන්තිමට බැළුවෙ අවුරුදු දෙකකට විතර කලින්. ආයෙත් බලන්න උවමනා වෙලයි දැන් ඉන්නේ.

චිත්‍රපටියෙදි බෙටීට තියෙන ඉක්මනින් තරහ යාමේ පිස්සුව අපට පේන්න තිබුණත් චිත්‍රපටිය පුරාම අපට හමු වෙන්නෙ එක එක මානසික දුබලතා තියෙන මිනිස්සු. ඒ කවුරුත් තමන්ට ලෙඩක් තියෙනව කියල දන්නෙ නැ හැබැයි.

ආ.... තූති බබාල බලල නරක් වුණා කියන්න එපා හොඳේ..



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, June 24, 2011

Pithamagan (2003)



Pithamagan නමෙන් කියවෙන විධියටම දෙමළ චිත්‍රපටියක්. ඉස්සර දෙමළ චිත්‍රපටි කිව්වම නිදිමත හැදුනත් පස්සෙ පස්සෙ ඒවයෙ තියෙන අමුතු ගතියට කැමති වුණ නිසා දැන් ලැබෙන ඔත්තුවකින් දෙමළ චිත්‍රපටියක් බලන්න පුළුවන් ආසාවෙන්.

මේ චිත්‍රපටිය ගැන මුලින්ම ඔත්තුව ලැබුණෙ අපේ ගුගල් බස් යාළුවන් අතර ඇතිවුණ කතාවකදි. කව්දෝ යාළුවෙක් (සමාවෙන්න නම අමතක එකට. දැන් ඒ ‍බස් එකේ කෑලිත් නෑ හොයාගන්න) මේ චිත්‍රපටිය ගැන බස් එකේ ගිය කතාවක් මැද්දෙදි කියල තිබුණ. දෙමළ නළු නිලියො ගැනවත් අධ්‍යක්ෂකල ගැනවත් මෙලෝ මළදානයක් නොදන්නව වුණාට කවුරු හරි හොඳයි කියන්නෙ හොඳ වෙන්න පුළුවන්නේ.... :-) ඉතිං බෑවා... බොහොම අඩු සීඩ් ප්‍රමාණයක් තියෙන්නේ. ඔයාල මේක බානවනම් සතියක් විතර ඉවසන්න වෙයි...

හැබැයි ඉවසල ඉවසල අමාරුවෙන් බාගත්තට පාඩුවක් නැති චිත්‍රපටියක් මේක. සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමක් චිත්‍රපටිය තාත්ත්විකයි. අර දුෂ්ඨයට උඩ විසි වෙන්න ගහල එයා බිම වැටෙන්න කලින් තව දහ දොළොස් දෙනෙක්ට ගහනව වගේ සටන් නැති වුණාට චිත්‍රපටිය නියමයි. මේකෙ තියෙන්නෙ සොහොන්පල්ලෙක්ගෙ රැකවරණය ලබන තරුණයෙක් සමාජයට ඒම සම්බන්ධ කතාවක්. සොහොන්පල්ලා මියගියාට පස්සෙ චිත්තන් කියන මේ තරුණයා ගමට ආවත් ගමේ මිනිස්සුන්ගෙන් හොඳ පිළිගැනීමක් ඔහුට ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව ඔහු හරියට කතාකරගන්නවත් දන්නෙ නැති සතෙක් වගේ හැදුණ මිනිහෙක් නිසයි. ඒ නිසාම ඔහු විවිධ අකරතැබ්බ වලට මුහණ දෙනව. ඒවයින් ඔහුව ගලවල තියාගන්න ඔහුට හම්බ වෙනව නියම යාළුවෙක් ශක්ති කියලා. ඒ එක්කම ඔහුට හමුවෙනව ගෝමදී කියල ග‍මේ තවත් කොන් වුණ තරුණියක්. මේ දෙන්නත්, ශක්තිගෙ පිස්සු යාළුවො දෙන්නත්, ශක්තිගෙ පෙම්වතිය වෙන මංජුත්, ඒ හතරපස් දෙනාගෙම දුෂ්ඨයත් එක්ක චිත්තන්ගෙ ඉරණම තීරණය වෙන හැටි චිත්‍රපටියෙ අපූරුවට නිරූපණය වෙනව.

චිත්‍රපටිය ගැන මම කියවපු දේවල් අනුව බාලා කියනනෙ ඉන්දියාවෙ ඉන්න දක්ෂ සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්. වික්‍රම්ට මේ චිත්තන් චරිතය වෙනුවෙන් ඉන්දියානු ජාතික සිනමා සම්මාණ උළෙලෙදි හොඳම නළුවට හිමි සම්මානය හිමි වෙලා තියෙනවා. සූර්යා කියන නළුවගෙ චිත්‍රපටි කීපයක්ම මම කලින් බලල තියෙනවා. ලංකාවෙත් ගෑණු ළමයි ගොඩක් කැමති, බොහොම හුරුබුහුටි, ගහගන්නයි නටන්නයි හොඳට හැකියාව තියෙන නළුවෙක්නේ... නිළියෝ දෙන්න විධියට ඉන්න ලෙයිලා සහ සංගීතා දෙන්න ගැනත් කියන්න වරදක් නෑ... සුන්දරයි... ඒ එක්කම සංගීතය දකුණු ඉන්දියානු සිනමාවෙ යෝධයෙක් වෙන මාස්ටර් ඉලෛරාජාගෙන්.

ඉන්දියානු චිත්‍රපටියක් ගැන ලියන්න ගියාම ඒ ගැන තොරතුරු වලට එක තැනක් නැති වීම ලොකු අඩුවක්. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයක් වෙන දුෂ්ඨ චරිතය කරන නළුව ගැන කොහෙවත් සඳහනක් නෑ. සාමාන්‍යයෙන් ඉන්දියාව තොරුතුරු තාක්ෂණ හැකියාවන් සම්බන්ධව ලෝකෙම හොල්ලගෙන හිටියත් තවමත් IMDb තරමට සාර්ථක පද්ධතියක් ඔවුන් සතුව නෑ... නැත්නම් මට හමු වුණේ නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන කියල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්!



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Thursday, June 23, 2011

Cloverfield (2008)


Cloverfield චිත්‍රපටියෙ තියෙන්නෙ නිව්යෝක් නගරයට පහර දෙන අද්භූත යෝධ සත්ත්වයෙක් ගැන කතාවක්. ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. නමුත් ඒකෙ කතා තේමාවෙ විධියට ඒක ඔය ගොඩ්සිලා, ට්‍රාන්ස්ෆෝමර්ස් තරම් නැතත් සෑහෙන්න ජනප්‍රිය වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ. සමහර විට චිත්‍රපටියෙ නම, ඒ කතාවේ තේමාව නිරූපණය නොකිරීමත්, රඟපාන අය ඒ තරම්ම ජනප්‍රිය අය නොවීමත්, ඒ වගේ චිත්‍රපටි කීපයක්ම කලින් නිකුත් වෙලා තිබීමත් වගේ වගේ හේතු නිසා චිත්‍රපටය ජනප්‍රිය නොවෙන්න ඇති. නමුත් මට නම් ඒක නියම චිත්‍රපටියක්. ඒ වගේම ඒක පර්යේෂණාත්මක චිත්‍රපටියක්.

කතාව ඉදිරිපත් වෙන්නෙ කැම් කෝඩර් යන්ත්‍රයක සටහන් වුණ සංස්කරණය නොවුණ චීඩියෝවක් විධියටයි. කියවපු විධියට නම් මුළු චිත්‍රපටියම DV වීඩියෝ පටයක දිගට සමානයිලු. කතාව පටන්ගන්නෙ තමන්ගෙන් සමු අරන් ඈත රටක රස්සාවකට යන්න නියමිත මිතුරෙක් වෙනුවෙන් එයාගෙ යාළුවො ටික පවත්වන සාදයකින්. සාදය අතරෙදි හොඳට විනෝද වෙමින් හිටපු ඒ සේරම දෙනා එකපාර කම්පනය වෙනවා අමුතු සද්දෙකින්.

කට්ටියම ඒ මොකක්ද කියල බලන්න පොරකන අතරෙ ඔය කවුරුත් දන්න ලිබර්ටි ප්‍රථිමාවෙ ඔළුව ගැලවිලා අහසින් ඇවිත් මහ පාර මැදට වැටෙනවා. කට්ටියටම තේරෙනවා ලොකු අනතුරක් අත ළඟ කියලා. ඊට පස්සෙ පණ බේරගන්න දුවන දිවිල්ල තමයි කතාව පුරාම තියෙන්නේ...

කතාව අපූරු විධියකට ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වෘත්තීය නොවෙන කැමරා ශිල්පියෙක් කැම් එකක් පාවිච්චි කරන විධියටම මේකෙදි කැමරාව හසුරුවලා තියෙනවා. ඒ වගේම කම්පනයට ලක් වෙද්දි කැමරාව අතේ තියෙන කෙනාට ඒක දැණෙන විධියටම අපටත් දැණෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 22, 2011

Apocalypse Now (1979)


Apocalypse Now කියන්නෙ ටිකක් පරණ වුණත් මම බලල තියෙන යුධ චිත්‍රපටි අතරෙ සුපිරි වර්ගයේ චිත්‍රපටියක්. යුද්ධයේ කුරිරු බවත්, යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන විධියත්, යුද්ධය නිසා ඒකට සම්බන්ධ වෙන මිනිස්සුන්ට දැණෙන ආතතියත් ගැන ගොඩක් සාර්ථක කතාවක් මේ චිත්‍රපටියෙ තියෙනවා.

ඇමරිකානුවන් වියට්නාමෙ යුධ වැදුනු අවධියෙ සිදුවෙන සිදුවීම් කීපයක් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඇමරිකානු හමුදාවේ කැප්ටන්වරයෙක් වෙන Captain Benjamin L. Willard උසස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමකට තෝරගන්නවා. ඒක රහසිගත මෙහෙයුමක්. ඔහුට නියම වෙන්නෙ ඒ වෙනකොට කාම්බෝජ දේශ සීමාවෙ කුරිරු යුද්ධයක නිරත වෙලා ඉන්න කර්නල්වයෙක් වෙන Walter Kurtz ව මරා දැමීමයි. ඇමරිකානු හමුදා නිලධාරින්ගේ පාලනයෙන් තොරව කර්නල් කර්ට්ස් ඔහුගේම යුද්ධයක් කරන බවයි කැප්ටන් විලාඩ් ට ඉහලින් දැනුම් දෙන්නේ..

ඉතිං කපිතන් විලාඩ් කර්නල් කර්ට්ස්ව හොයාගෙන සෑහෙන්න දුරක් යනවා. අවසානයේ ඔහුට කර්නල්වරයාව හමුවුණාම ඔහුට තේරෙනවා කර්නල්වරයා අමුතුම පුද්ගලයෙක් කියලා. ඔහුටම ආවේණික යුධ ශිල්ප ක්‍රම හරහා ඔහු යුද්ධය කරමින් ඉන්න බව කපිතන්ට තේරෙණවා. ඔහුටත් නොදැනීම ඔහු ඒ යුද්ධයේ කොටසක් බවට පත් වෙනවා. මේ කතාව ඉදිරිපත් කරන්නෙ බොහොම අපූරු විධියට... ඒව ඉතිං පතාක අධ්‍යක්ෂවරයෙක් වුණ Francis Ford Coppola මහත්තයගෙ වැඩ තමයි.

චිත්‍රපටියෙ රඟපාන්නෙත් ඒ වගේම යෝධයො ටිකක්. Marlon Brando, Martin Sheen එක්ක Robert Duvall කියන්නෙ හොලිවුඩ් සිනමාවෙ යෝධයො නේන්නම්...

Apocalypse Now චිත්‍රපටිය Joseph Conrad මහත්තයගෙ Heart of Darkness ‍කියන පොත අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ....

ඉතිං කලින් කියපු අයගෙ වැඩ එක්ක යුද්ධයේ අපි නොදන්න තව පැත්තක් ගැන දැනගන්න මේකත් බලන්න ටුයි එකක් දෙන්න.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, June 21, 2011

Treasure Planet (2002)


Treasure Planet කියන්නෙ Walt Disney සමාගමේ නිෂ්පාදනයක්. ද්විමාණ වර්ගයේ ඇනිමේෂන් එකක්. නමුත් යම් තරමකට ත්‍රිමාණ සජීවීකරණත් පාවිච්චි කරල කරපු නිර්මාණයක්. මේ චිත්‍රපටියත් කලින් කියපු Paul වගේම අභ්‍යවකාශයට සම්බන්ධ එකක්. ඒ වගේම මේක ස්කොට්ලන්ත ජාතික ලේඛක Robert Louis Stevenson මහත්මය ලියපු Treasure Island කියන පොත අනුසාරයෙන් නිපදවපු එකක්. ඔය පොත අනුසාරයෙන් වෙනත් කතා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය වගේ ගොඩක් ඒව ඉතිහාසය පුරා නිර්මාණය වෙලා තියෙනවා. Treasure Planet කියන්නෙ පොත අභ්‍යවකාශ යුගයට ගැලපෙන්න ප්‍රති නිර්මාණය වුණ අවස්ථාවක්.

Jim Hawkins කියන ගැටවරයට විශ්වයේ හිටපු දරුණු මංකොල්ලකාරයෙක්ගෙ වස්තුව හංගල තියෙන තැනක් ගැන සිතියමක් හම්බවෙනව. ඔහු තමන්ගෙ පවුලේ මිතුරෙක් වෙන ආචාර්ය Doppler සමග අභ්‍යවකාශ නෞකාවක් කුලියට අරන් මේ නිධානය හොයන්න පිටත් වෙනව. මුලදි මේ යානයේ කාර්ය මණ්ඩලයේ ඉන්න හැමෝම ජිම් ඇතුළු මිතුරන්ට බොහොම ගෞරවයෙන් සැලකුවත් ඇත්තටම ඒ සැලකිල්ල බොරුවක් කියල ජිම්ට තේරෙන්න ගන්නව. තමන් සතුව තියෙන සිතියම ගැන ඔවුන් ඇහැ ගහගෙන ඉන්න බවත් අවස්ථාව ආපු ගමන් තමන් ඇතුළු මිතුරන්ව විනාශ කරල ඔවුන් නිධානය අරන් පැනල යන බවත් ජිම්ට තේරෙණව. මේ දැන ගැනීමත් එක්ක සියල්ල වෙනස් වෙනව. ඊට පස්සෙ යානයේ එකිනෙකාට විරුද්ධ පාර්ශවයන් දෙකක් නිර්මාණය වෙනව. මේ අර්බුදයත් එක්ක නිධානය හොයාගෙන යෑමේ වීර චාරිකාව තමයි චිත්‍රපටිය පුරා දිගඇරෙන්නේ...

ඩිස්නි සමාගමෙන් කරන කාටුන් වර්ගයේ චිත්‍රපටි ඉහලම තත්ත්වයේ නිර්මාණ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෝල්ට් ඩිස්නි මහත්තය හිටපු කාලෙ ඉඳන්ම එයාල ඒ තත්ත්වය චිත්‍රපටි වල පවත්වගන්න සමත් වුණා. Treasure Planet චිත්‍රපටියෙත් ඒ තත්ත්වය ඉහලින්ම තියෙනවා. මේකෙ ජිමි හෝකින්ස්ට හඬ සපයන්නෙ හොලිව්‍රඩයේ නැගී එන කඩවසම් තරුණ නළුවෙක් වෙන Joseph Gordon-Levitt අයිය තමයි :P අනිත් අය ගැන හොයල බලන්නකෝ IMDb එකටම ගිහින්.


බයිලාවක් - දැනට මම මේ අඩවිය වෙනුවෙන් ලියපු චිත්‍රපටි ටික දැකල දන්න කියන කෙනෙක් කිවිව මගේ රේටින්ගංස් 7ට අඩු වෙන්නෙම නෑනෙ කියල. කතාව ඇත්ත. මොකද මෙතන ලියන්නෙ මට හොඳින්ම දැණුන චිත්‍රපටි නිසා ඒවගෙ රේට් එක 7/10 ට වඩා අඩු වෙන්න විධියක් නෑ ;-)

මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Monday, June 20, 2011

Paul (2011)


කලින් කීප වතාවෙදිම මම කිව්වෙ ටිකක් පරණ චිත්‍රපටි ගැන වුණාට අද කියන්න යන්නෙ මේ අවුරුද්දෙදිම නිකුත් වුණ, වැඩිය ජනප්‍රිය වෙලා නැති ඒ වුණත් සුපිරි වර්ගයේ චිත්‍රපටියක් ගැන. මේක ඇත්තටම එනකල් බලාගෙන හිටපු චිත්‍රපටියක්.

Paul කියන්නෙ පිටසක්වලින් ආපු පිටසක්වලයෙක්. මෙයා 1974දි එයාගෙ යානයේ රවුමක් දාන ගමන් ඇමරිකාවෙ (මුන් කඩාපාත් වෙන්නෙම ඇමරිකාවටනේ :P) වයෝමින් ප්‍රදේශයේ ගෙදරක ඉන්න පෝල් කියන බලු රාලගෙ ඇඟට කඩාගෙන වැටෙනව. යානයේ හිරවෙලා ඉන්න එයාව බේර ගන්නෙ ඒ බළුගේ අයිතිකාර තාරා කියන ගෑණු ළමයයි. එයාට පෝල් කියල නම තියන්නෙත් එයා.

හැබැයි ඇමරිකානු හමුදාවෙන් සහ රජයේ රහස් අංශ වලින් ගැලවෙන්න පෝල්ට හැකියාවක් ලැබෙන්නෙ නෑ. එයාට ඉතිරි අවුරුදු 60 ගෙවන්න වෙන්නෙ ඇමරිකානු හමුදා කඳවුරක. පෝල් සතුවන දැණුම සහ විශේෂ හැකියාවල් ඇමරිකානු රහස් අංශ මගින් ලබාගන්නවා. පෝල් ඇමරිකානු රජයේ තාක්ෂණික උපදේශකයෙක් විධියටයි වැඩ කරන්නේ. එයා සම්බන්ධ වුණ වැඩ ගැනත් කියනවනං... ඔය Steven Spielberg මහත්තයට E.T. හදන්න උපදෙස් දෙන්නෙ පෝල්. එතකොට ඔය X-Files එකේ Agent Mulder චරිතයත් පෝල්ගෙ අදහසක්.

නමුත් ඒ ජීවිතෙන් ගැලවෙන්න අවස්ථාව ලැබුණ ගමන්ම පෝල් එතනින් පැනගන්නවා. ඊට පස්සෙ එයාට හම්බ වෙන්නෙ එංගලන්තයෙන් ආපු සංචාරකයෝ දෙන්නෙක්ව. නිකංම සංචාරකයො නෙවෙයි. පිටසක්වල පිස්සුව උස්මුරුත්තාවටම හැදුණ, පිටසක්වල ලෝක ගැන කොමින් කතා ලියන්න ට්‍රයි කරන, පිටසක්වල ලෝක ගැන තියෙන සමුළු, සම්මන්ත්‍රණ, දේශණ, ප්‍රදර්ශණ වගේ ඒවා බලන දෙන්නෙක්. ඉතිං පෝල්ට හරියන විධියෙම දෙන්නෙක් හම්බ වෙනවා.

ඊට පස්සෙ කතාව මෙතන කියන එක වැඩක් නෑ. පෝල්ව අල්ලගන්න පස්සෙන් එන රජයේ නියෝජිතයන්ගෙන් ගැලවෙමින් ඔහුව ආපහු තමන්ගෙ ලෝකය වෙත යවන්න එංගලන්න යාළුවො දෙන්න දරණ උත්සාහෙ තමයි චිත්‍රපටියෙ ඉතිරියෙදි තියෙන්නෙ.

‍පෝල් කියන්නෙ අපේ භාසාවෙන් කිව්වොත් හෙණ පිස්සු ඩයල් එකක්. එයාට කටහඬ දෙන්නෙ නූතන හොලිවුඩයේ ඒ වගේම පිස්සු ඩයල් එකක් වුණ Seth Rogen. ඒ වගේම පෝල්ව හොඳට ඇනිමේට් කරල තියෙනවා.... ඒ තරම්ම ජනප්‍රිය අය නොවුණත් Simon Pegg සහ Nick Frost දෙන්න හොඳ විහිළු කාරයො කියල පේනවා. ඒ දෙන්න රඟපාන ජනප්‍රිය චිත්‍රපටි කීපයක්ම තියෙනවා සහ ඔය දෙන්නමයි පෝල්ගෙ කතාව ලියල තියෙන්නෙත්...

ඉතිං අළුත් අත්දැකීමක් එක්ක හොඳින් හිනාවෙන්න නම් බලන්න Paul....!



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Sunday, June 19, 2011

One Hour Photo (2002)

http://huckleberry.casperworld.com

Robin Williams මහත්තයව අපි කවුරුත් දන්නෙ බොහොම වැදගත්, නිවුණු චරිත හෝ කොමඩි චරිත ගොඩක් කරල තියෙන නළුවෙක් හැටියට. නමුත් ඔහුගේ රංගන පරාසය අති පුළුල් කියල දැණෙන චරිත ගණනාවක්ම ඔහු රඟපාලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඔහුගෙන් තවත් සුවිශේෂී රංගනයක් බලාගන්න පුළුවන් One Hour Photo චිත්‍රපටිය ගැනයි.

Seymour Parrish හෙවත් Sy කියන්නෙ මැදිවිය ඉක්මවපු තනිකඩ පුද්ගලයෙක්. ඔහුට මතක ඇති කාලයක පවුලක්, මිතුරෙක් හෝ පෙම්වතියක් ඉඳල නෑ. තනිවම ජීවත්වෙන පුද්ගලයෙක් වෙන ඔහු නගරයේ තියෙන දැවැන්ත සුපිරි වෙළඳසැලක තියෙන ඡායාරූපගාරයක තාක්ෂණ ශිල්පියෙක් විධියටයි වැඩ කරන්නේ.

ඔහු තමන්ගෙ පාරිභෝගිකයන් සමග කුළුපග වෙනව බොහොම ඉක්මනින්. ඒ වගේම එක් එක් පාරිභෝගිකය සුද්ධ කරන්න අරන් එන ඡායාරූප අනුව Sy ඒ පාරිභෝගිකය ගැන යම් මතයක් හදාගෙන ඉන්නව. මේ පාරිභෝගිකයො අතරින් Yorkin පවුලේ අයට Sy විශේෂයෙන් සලකනව. ඒ පවුලෙ ඉන්න පුංචි පුතා Jakob පුංචිම කාලෙ ඉඳන්ම එයාගෙ අම්මා Nina Yorkin පින්තූර සුද්ධ කරගන්නෙ සයිගෙන්. ඉතිං ජාකොබ්ටත් නීනාටත් සයි ගොඩක් සමීප වෙනව. ඒ වුගේම ඔහු හිතන්න ගන්නව තමනුත් මේ පවුලෙ කෙනෙක් කියල. තමන් නීනගෙ ස‍හෝදරය සහ ජාකොබ්ගෙ මාමා කියල ඔහු හිතන්න ගන්නව. ඒ එක්කම ඔහු ප්‍රාර්ථනා කරනව මේ පවුල හොඳින්, සතුටින් පවතින්න.

නමුත් පවුලේ පියාගේ දුර්වලකමක් සයිට අහු වෙනව. ඒ එක්කම සයි, පවුලේ පියා නිසා යෝකින් පවුලට වෙන්න යන විනාශයෙන් පවුල බේරගන්න උත්සාහ කරනව. මේ සිදුවීම් පෙල අවසානය දක්වාම අපිව කුතුහලයෙන් පුරවල තියන්න සමත්.

චිත්‍රපටිය ඒ තරම්මත් විශේෂ එකක් නොවුණත් නියමයි කියල කියන්න පුළුවන් එකක්. ඒ වගේම ට්‍රේලර් එකේදිත් මේක horror චර්ගයේ එකක් කියල පෙන්නන්න ගියාට එහෙමමත් නෑ.




මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Related Posts Plugin for WordPress, Blogger...