Monday, October 24, 2011

Mr. Popper's Penguins (2011) | Jim Carrey, Carla Gugino, Angela Lansbury


Jim Carrey කියන නම ඇහුන ගමන් අපට මතක් වෙන්නෙ විකට නළුවෙක් වුණත් ඔහු ඇත්තටම ගැඹුරු චරිත නිරූපණය කරන්න පුළුවන්කමක් තියෙන නළුවෙක්. ඒ වගේම ඔහු දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්.

අද කියන්න යන Mr. Popper's Penguins චිත්‍රපටිය මේ අවුරුද්දෙදි නිකුත් වුණ ඔහුගේ සුපුරුදු විකට රංගනයෙන් යුතු චිත්‍රපටියක්. මේක සුපුරුදු විධියටම මහා ලොකු කතාවක් නෙවෙයි. නමුත් හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක්. චිත්‍රපටිවලට කැමති පුංචි ළමයි එහෙම ඉන්නවනම් මේක හොඳට අල්ලල යයි එයාලට.

Tom Popper කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු තමන් කරන වැඩේට හොඳින් කැප වුණ ක්ෂේත්‍රයේ තැනක් තියෙන දක්ෂයෙක්. නමුත් ඔහු ඉන්නෙ ඔහුගෙ වෘත්තිය තුල හිරවෙලා. තමන්ගෙ බිරිඳගෙන් වෙන්වෙලා ඉන්න ඔහු දරුවො දෙන්න දකින්නෙත් සති අන්තයෙදි විතරයි.

මේ ජීවන රටාව වෙනස් වෙනවා ඔහුගෙ පියාගෙන් ඔහුට ලැබෙන තිළිණයක් නිසා. ඇත්තටම ඒක ටොම්ගෙ පියා මිය යන්න කලින් ඔහුට වෙන් කරල එවන තෑග්ගක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. පෙන්ගුයින් කෙනෙක්. එක්කෙනෙක් මදිවට පස්සෙ හම්බවෙන තවත් 5 දෙනෙක් එක්ක පෙන්ගුයින්ලා 6 දෙනෙක් ටොම්ට තෑගි විධියට හම්බ වෙනවා.

මේ පෙන්ගුයින්ලා නිසා ඔහුට තමන්ගෙ පවුලෙ සැලකිල්ල ආයෙමත් හම්බවෙනවා. ඔහුගෙ දරුවො දෙන්න පෙන්ගුයින්ලා නිසාම ආයෙත් ඔහුත් එක්ක ගැවසෙන්න ගන්නවා. ඔහුගෙ බිරිඳත් ආයෙමත් ඔහුට සමීප වෙනවා.

නමුත් ඔහුගෙ ජීවිතේ ඒ විධියටම දිගටම ගෙවෙන්නෙ නෑ. නොයෙක් කරදර බාධක වගේම පෙන්ගුයින්ලා කරන ලේ රත්වෙන වැඩ එක්ක ඔහුට තමන්ගෙ ජීවිතේ ගැන ආයෙමත් හිතන්න අවස්ථාවක් එනවා...



මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Thursday, October 13, 2011

The Abyss (1989) | Ed Harris, Mary Elizabeth Mastrantonio, Michael Biehn


James Cameron කියන අපූරු අධ්‍යක්ෂවරයව අපි මුලින්ම හොඳට අඳුනගන්නෙ Titanic චිත්‍රපටියෙන්. නමුත් Aliens සහ Terminator වගේ චිත්‍රපටිත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වුණ නිර්මාණ. මෑතකදි Avatar චිත්‍රපටියෙන් ඔහු ආයෙත් වැඩ පෙන්නුවා. මේ සේරම දිහා බලද්දි පේ‍න කාරණයක් තමයි ඔහු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයෙන් වැඩ අරන් තියෙන බව. ඔහුම කියල තියෙන විධියට Avatar චිත්‍රපටිය හදන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙනකල් ඒ පිටපත ඔහු සතුව අවුරුදු 10ක් වගේ කාලයක් තිබිල තියෙනවා. ඒ කියන්නෙ ඔහුට සෑහෙන්න හොඳ ඉදිරි දැක්මක් තියෙනවා සහ ඒ දැක්ම චිත්‍රපටියකින් නිර්මාණය කිරීම ගැනත් ඔහුට සෑහෙන්න අවබෝධයක් තියෙනවා.

මේ තරම් කැමරන් මහත්තය ගැන අටුවා ලිව්වෙ අද කියන්න යන කැමරන් විසින්ම අධ්‍යක්ෂණය කරපු The Abyss චිත්‍රපටියේ වටිනාකම හඳුන්වල දෙන්න උවමනා හින්දයි. The Abyss චිත්‍රපටියත් ප්‍රධාන වශයෙන් විද්‍යා ප්‍රබන්ධයක් විධියට සලකන්න පුළුවන් අපූරු නිර්මාණයක්. 1989 වගේ පරිගණක සජීවීකරණය කොහෙත්ම දියුණු නැති කාලෙක සාම්ප්‍රදායික ද්‍රෂ්‍ය ප්‍රයෝග වලින් මේ චිත්‍රපටිය සෑහෙන්න සාර්ථකව නිර්මාණය කරල තියෙන විධිය විශ්වාස කරන්න බැරි තරම්. ඒ හින්දම වෙන්න ඇති මේ චිත්‍රපටියට හොඳම දෘෂ්‍ය ප්‍රයෝග වෙනුවෙන් ඇකඩම් සම්මානය හිමි වෙලා තියෙන්නේ.

කතාවෙ තියෙන්නෙ ‍මුහුදු පත්ල කණිමින් තෙල් නිධි හොයන කිමිදුම් කණ්ඩායමක් රජයේ ඉල්ලීමක් අනුව යෙදෙන මෙහෙයුමක් ගැනයි. ඔවුන්ට නියම වෙන්නෙ කාර්මික දෝෂයක් නිසා ක්‍රියා විරහිත වෙලා මුහුද පත්ලට ගිය න්‍යෂ්ඨික සබ්මැරීනයක විස්තර හොයාගන්නයි. ඔවුන් සබ්මැරීනය හොයාගන්නව වුණාට ඒ පරිසරයෙදි ඔවුන්ට හම්බ වෙන්නෙ ඔවුන් හීනෙන්වත් නොහිතපු කට්ටියක්. පිටසක්වලින් පැමිණි පිරිසක්. චිත්‍රපටියෙ ඉතිරිය ගලාගෙන යන්නෙ ඒ ජීවීන් සමග සිද්ධ වෙන කතාබහ සහ සිදුවීම් එක්ක. අවසානයෙ මුළු ලෝකයේම අවධානය යොමුවෙන සිදුවීම් දාමයක් ඒ නිසා ඇරඹෙනවා.

චිත්‍රපටිය මට හමුවෙන්නෙ Ed Harris කියන නළුව ගැන හොයද්දි. ඔහු මේ චිත්‍රපටියෙ පුධාන චරිතය රඟපානවා. හොලිවුඩයේ ඉන්න තමන්ටම විශේෂ අනන්‍යතාවක් තියෙන තවත් අපූරු නළුවෙක් තමයි ඔහු.

ඉතිං බලන්න. ජේම්ස් කැමරන් අද වගේම එදත් සුරයෙක් බව තේරුම්ගන්න පුළුවන් හොඳම චිත්‍රපටියක්.



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Wednesday, October 12, 2011

The Bodyguard (1992) | Kevin Costner, Whitney Houston, Gary Kemp


Frank Farmer කියන්නෙ පුද්ගල ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ Bodyguard කෙනෙක්. ඔහු Freelancer කෙනෙක් ;-) ඔහුට ආරක්ෂා කරන්න නියම වෙන අළුත්ම පුද්ගලයා කාන්තාවක්. ඇය Rachel Marron නම් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක්. සුපිරි ජීවිතයක් ගෙවන කෙනෙක්. ඇය මුලදි කොහෙත්ම ‍ෆ්‍රෑන්ක්ගෙ සේවය තමන්ට අවශ්‍ය බව පිළිනොගන්නව වුණාට පසුව ඇයට තේරෙණව ඔහුගෙ සේවය තමන්ට අවශ්‍යයි කියල. මොකද ඇයව පිස්සුවෙන් අගය කරන සහ ඊර්ෂ්‍යා කරන පුද්ගලයෙක් ඇයට නිර්නාමික තර්ජන එල්ල කරනව.

කල් යද්දි ෆ්‍රෑන්ක් සහ රැචෙල් දෙදෙනා අතර තියෙන ඇසුර සේවා දායක සහ සේවා ලාභී කියන තත්ත්වයෙන් මිදිල ඊටත් වඩා පුද්ගලික මට්ටමකට යනව. ඔය අතරෙ රැචෙල් හොඳම නිළිය විධියට ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වෙනව.

මේ විධියට කතාව ගලාගෙන යන්නෙ The Bodyguard චිත්‍රපටියෙයි. ‍බොහොම දක්ෂ හොලිවුඩ් නළුවෙක් වෙන Kevin Costner සහ ඇත්ත ජීවිතෙත් ගායිකාවක් සහ නිළියක් වුණ Whitney Houston ‍දෙන්න තමයි පුධාන චරිත වලට පණ පොවන්නෙ. මේක හොඳ චිත්‍රපටියක් කියල අහල තිබුණට මෑතක් වෙනකල්ම බලන්න වුණේ නෑ. ටිකක් සංගීතය පැත්තටත් බර නිසා සෑහෙන්න හිතට වැදුණා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, October 11, 2011

Coming to America (1988) | Eddie Murphy, Arsenio Hall, James Earl Jones


Eddie Murphyට අකමැති චිත්‍රපටි ලෝලියෙක් ඉන්න විධියක් නෑනේ. දක්ෂ විකට රංගන ශිල්පියෙක් වගේම හොඳ හඬකවන්නෙක් විධියටත් සිනමා නිර්මාණ ගණනාවකින් අපි ඔහුව අඳුනගෙන ඉන්නවා.

Coming to America කියන චිත්‍රපටිය ඔහුම ලියපු කතාවක් අනුව නිපදවුණු චිත්‍රපටියක්. ටිකක් පරණ වුණාට මේ චිත්‍රපටිය මට හොඳට වැදුණ එකක්. එඩී මර්ෆිගෙ වෙනස්ම රඟපෑමක් දැකගන්න ලැබුණා වගේම ඔහුත් ඔහුගේ මිතුරා සහ සේවකයා විධියට රඟපාන Arsenio Hall කියන රංගන ශිල්පියත් විවිධ චරිත කීපයක්ම රඟපානවා. ඒ චරිත ඇත්තටම හොයන්න බැරි තරම් තාත්විකව වෙස් ගන්වල තියෙනවා.

අකීම් කියන්නෙ අප්‍රිකාවෙ තියෙන පෝසත් රටක් වෙන Zamunda දේශයේ ඔටුන්න හිමි කුමාරයායි. ඔහුගේ සියළුම වැඩ කරල දෙන්න ‍ඕන තරම් සේවකයො ඔහුට ඉන්නවා. ඔහුගෙ 21වෙනි උපන් දිනයෙදි පියරජතුමා සහ මව් බිසව ඔහුට මනමාලියක් යෝජනා කරනවා. නමුත් අකීම් වඩාත් කැමති වෙන්නෙ තමන් කියන දේ කරන බිරිඳකට වඩා ඔහුව තේරුම් අරගත් ඔහු තුල ඉන්න මනුස්සයට ආදරය කරන යුවතියක්ව විවාහ කරගන්නයි. ඒ නිසාම තමන්ගේ සිහින කුමරිය හොයාගෙන ඔහු තමන්ගෙ සේවක සැමි එක්ක ඇමරිකාවෙ කිවීන්ස් ජනපදය වෙත එනවා.

ඔවුන් එහිදි හැසිරෙන්නෙ දිළින්දන් විධියට. දුප්පත් කුලී කාමරයක ඉඳන් ඔවුන් දෙදෙනා කිවීන්ස් ජනපදයේ අවන්හලක සුළු රැකියා කරමින් අකීම්ගෙ අරමුණ වෙනුවෙන් වෙහෙසෙනවා.

චිත්‍රපටිය අවසාන වෙද්දි විවිධ අතට දිවුණ සිදුවීම් ගණනාවක් එක්ක අකීම්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන්ගන්නවා. ඒ අතරෙ වෙන සිදුවීම් රසවත්ව බලාගෙන ඉන්න පුළුවන් විධියට නිර්මාණය කරල තියෙනවා. සෑහෙන්න හිනා වෙන්නත් පුළුවන්.

චිත්‍රපටිය අවසානයේ ඒ ඒ චරිත රඟපාන්නෙ කවුද කියල පෙන්නද්දි පුදුම වෙන්නත් පුළුවන්.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, October 7, 2011

Pirates of Silicon Valley (1999) | Anthony Michael Hall, Noah Wyle, Joey Slotnick


ලෝකයේ තාක්ෂණික භාවිතාව සහමුලින්ම වෙනස් කරපු ස්ටීව් ජොබ්ස් මහත්තයා පහුගිය 5 වෙනිද මෙලොවින් සමුගත්තනේ. ඒ වුණත් සෑහෙන්න කාලයක් යනකල් ලෝකය පුරා ඔහුගෙ නම කියවෙන විධියෙ වැඩ ගොඩක් ඔහුට කරන්න පුළුවන් වුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ට්යෙන් එලියට බැහැල හිතපු පුද්ගලයෙක් විධියට ඔහුට අපි කවුරුත් ගෞරවාන්විත ආදරයක් දක්වනවා. ඔහු තාක්ෂණය නිතර ඇසුරු කරන ඇතැම් අයගේ වීරයෙක්.

මේ කියන්න යන්නෙ ඔහුගේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගැන කියවෙන වාර්තා චිත්‍රපටියක් ගැන. ඒ තමයි Pirates of Silicon Valley. මේක ගැන මුල්ම ඔත්තුව දුන්නෙ මැක් සටහන් ලියන අසංක. ඔහුට ස්තූතිවන්ත වෙනවා මේ අපූරු සිනමා නිර්මාණය ගැන සටහනක ලිව්ව එකට.

මේක ඇත්තටම එක විධියකින් වාර්තා චිත්‍රපටියක්. තවත් විධියකින් ඇපල් සහ මයි‍ක්‍රොසොෆ්ට් සමාගම්වල ආරම්භය සිදිධ වුණ විධිය ගැන කතාවක්. අනිත් අතින් ඔය හැමෝම එකිනෙකාගෙන් හොරකම් කරගෙන තමන්ගෙ නිෂ්පාදන සාර්ථක කරගත්තු විධිය ගැන කතාවක්. නමුත් මේ වෙලාවෙ මම කැමතියි මේක ස්ටීව් ජොබ්ස් කියන මනුස්සයගෙ දර්ශණය සෑහෙන්න අවබෝධ කරගන්න පුළුවන් විධියෙ චිත්‍රපටියක් කියල කියන්න.

මොකද මේ චිත්‍රපටිය පුරාවටම බොහෝ දුරට කතාව කියවෙන්නෙ ස්ටීව්ගෙ පාර්ශවයේ ඉඳන්. ස්ටීව් බොහොම නිදහසේ හිටපු නිදහසේ හිතපු පුද්ගලයෙක් කියල චිත්‍රපටියෙන් පේනවා. ඔහු තමන්ගෙ නිර්මාණ සැලසුම් කරන හැටි, ඒකෙදි ස්ටීව් වොස්නියැක් ඔහුට උදව් කරන විධිය. ඔවුන් ආයතනයක් විධියට ස්ථාවර වීම එක්ක අළුත් සංකල්ප එක්ක පුද්ගල පරිගණකය කියන හුරුබුහුටි නිෂ්පාදනය මිනිස්සු අතරට ගෙන ඒම වගේම බිල් ගේට්ස් එක්ක ඔවුන්ගෙ ගැටීම් චිත්‍රපටිය පුරාම කියවෙනවා.

මාස කීපයකට කලින් මම බාගත්තු දවස්වල නම් ඒ තරම් සීඩ් තිබුණෙ නෑ. මේ දවස්වල නම් කට්ටිය මේක බානව වගේ... :D



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Related Posts Plugin for WordPress, Blogger...