Thursday, October 13, 2011

The Abyss (1989) | Ed Harris, Mary Elizabeth Mastrantonio, Michael Biehn


James Cameron කියන අපූරු අධ්‍යක්ෂවරයව අපි මුලින්ම හොඳට අඳුනගන්නෙ Titanic චිත්‍රපටියෙන්. නමුත් Aliens සහ Terminator වගේ චිත්‍රපටිත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වුණ නිර්මාණ. මෑතකදි Avatar චිත්‍රපටියෙන් ඔහු ආයෙත් වැඩ පෙන්නුවා. මේ සේරම දිහා බලද්දි පේ‍න කාරණයක් තමයි ඔහු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයෙන් වැඩ අරන් තියෙන බව. ඔහුම කියල තියෙන විධියට Avatar චිත්‍රපටිය හදන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙනකල් ඒ පිටපත ඔහු සතුව අවුරුදු 10ක් වගේ කාලයක් තිබිල තියෙනවා. ඒ කියන්නෙ ඔහුට සෑහෙන්න හොඳ ඉදිරි දැක්මක් තියෙනවා සහ ඒ දැක්ම චිත්‍රපටියකින් නිර්මාණය කිරීම ගැනත් ඔහුට සෑහෙන්න අවබෝධයක් තියෙනවා.

මේ තරම් කැමරන් මහත්තය ගැන අටුවා ලිව්වෙ අද කියන්න යන කැමරන් විසින්ම අධ්‍යක්ෂණය කරපු The Abyss චිත්‍රපටියේ වටිනාකම හඳුන්වල දෙන්න උවමනා හින්දයි. The Abyss චිත්‍රපටියත් ප්‍රධාන වශයෙන් විද්‍යා ප්‍රබන්ධයක් විධියට සලකන්න පුළුවන් අපූරු නිර්මාණයක්. 1989 වගේ පරිගණක සජීවීකරණය කොහෙත්ම දියුණු නැති කාලෙක සාම්ප්‍රදායික ද්‍රෂ්‍ය ප්‍රයෝග වලින් මේ චිත්‍රපටිය සෑහෙන්න සාර්ථකව නිර්මාණය කරල තියෙන විධිය විශ්වාස කරන්න බැරි තරම්. ඒ හින්දම වෙන්න ඇති මේ චිත්‍රපටියට හොඳම දෘෂ්‍ය ප්‍රයෝග වෙනුවෙන් ඇකඩම් සම්මානය හිමි වෙලා තියෙන්නේ.

කතාවෙ තියෙන්නෙ ‍මුහුදු පත්ල කණිමින් තෙල් නිධි හොයන කිමිදුම් කණ්ඩායමක් රජයේ ඉල්ලීමක් අනුව යෙදෙන මෙහෙයුමක් ගැනයි. ඔවුන්ට නියම වෙන්නෙ කාර්මික දෝෂයක් නිසා ක්‍රියා විරහිත වෙලා මුහුද පත්ලට ගිය න්‍යෂ්ඨික සබ්මැරීනයක විස්තර හොයාගන්නයි. ඔවුන් සබ්මැරීනය හොයාගන්නව වුණාට ඒ පරිසරයෙදි ඔවුන්ට හම්බ වෙන්නෙ ඔවුන් හීනෙන්වත් නොහිතපු කට්ටියක්. පිටසක්වලින් පැමිණි පිරිසක්. චිත්‍රපටියෙ ඉතිරිය ගලාගෙන යන්නෙ ඒ ජීවීන් සමග සිද්ධ වෙන කතාබහ සහ සිදුවීම් එක්ක. අවසානයෙ මුළු ලෝකයේම අවධානය යොමුවෙන සිදුවීම් දාමයක් ඒ නිසා ඇරඹෙනවා.

චිත්‍රපටිය මට හමුවෙන්නෙ Ed Harris කියන නළුව ගැන හොයද්දි. ඔහු මේ චිත්‍රපටියෙ පුධාන චරිතය රඟපානවා. හොලිවුඩයේ ඉන්න තමන්ටම විශේෂ අනන්‍යතාවක් තියෙන තවත් අපූරු නළුවෙක් තමයි ඔහු.

ඉතිං බලන්න. ජේම්ස් කැමරන් අද වගේම එදත් සුරයෙක් බව තේරුම්ගන්න පුළුවන් හොඳම චිත්‍රපටියක්.



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...