Wednesday, November 23, 2011

Dreamgirls (2006) | Beyoncé Knowles, Jamie Foxx, Eddie Murphy


Dreamgrils කියන්නෙ තවත් එක සංගීතමය චිත්‍රපටියක් විතරක් නෙවෙයි. දක්ෂයින් කීපදෙනෙක්ම වැඩ පෙන්නන චිත්‍රපටියක්. විශේෂයෙන්ම ඇමරිකන් අයිඩල් වැඩසටහනේ තුන්වෙනි වාරයේ අවසන් වටයෙදි ඒකෙන් හැලුන Jennifer Hudsonගෙ ගායනය සහ අපූරු රංගනය චිත්‍රපටිය පුරාම දැණෙනවා. ඊට අමතරව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති Eddie Murphy මේ චිත්‍රපටියෙ සුවිශේෂ රංගනයක යෙදෙනවා. ඔහු විශිෂ්ඨ ගායකයෙක් කියලත් මේ චිත්‍රපටියෙන් අපට පේනවා. මොකද මේ චිත්‍රපටියෙ ඔහු කියන ගීත ඇත්තටම ගායනා කරන්නෙ ඔහු කියල හොයාගන්න ලැබුණා. ඒ එක්කම ලෝකයේ තවත් ජනප්‍රිය ගායිකාවක් වෙන Beyoncé Knowles සහ දක්ෂ ‍‍නළුවෙක් වෙන Jamie Foxx මේ චිත්‍රපටිය ආලෝකමත් කරනවා.

කතාව ඇරඹෙන්නෙ විවෘත සංගීත ප්‍රසංගයකින්. ඒ ප්‍රසංගය ආධුනික ප්‍රවීන භේදයකින් තොරව හැමෝටම විවෘත එකක්. නමුත් එතනින් ගන්න ආරම්භය සමහර විට කෙනෙක්ව තරුවක් කරන්න පුළුවන්. මේ ප්‍රසංගයේ ගායනයට එන දක්ෂ තරුණියන් තුන්දෙනෙක්ට හමුවෙන්නෙ Curtis Taylor Jr. කියන ව්‍යාපාරිකයව. ඔහු හරහා මේ තරුණියන්ට එවකට ප්‍රසිද්ධ R&B ගායකයෙක් වෙන James 'Thunder' Early ව හමුවෙනව. ඔහුගේ අත්වැල් ගායනයට එකතුවෙන මේ තරුණියන් Dreamettes නමින් ජනප්‍රිය වෙනවා. ටිකෙන් ටික ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යන ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ කලමණාකරු සහ ‍ලේබල් අයිතිකරු විධියට කටයුතු කරන කර්ටිස් විසින් ව්‍යාපාරික උවමනා වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ හේතුවෙන් කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව වෙන Effie කණ්ඩායමෙන් ඉවත් වෙනවා. වෙනත් ගායිකාවක් හරහා සම්පූර්ණ වෙන Dreamettes කණ්ඩායම ඉදිරියට යනවා. නමුත් අවසානයේ ඔවුන් සියළු දෙනා තමන්ට ජීවිතයේ අයිති නිසි තැන ටිකෙන් ටික හොයාගන්නවා.

ගීත කොපි කිරීම ගැන අද සැලකිය යුතු සංවාදයක් තියෙනවනේ. මේ චිත්‍රපටිය බැලුවනම් ගීත සහ දක්ෂතා සොරාගැනීම මොන තරම් කෲර විධියට වුණාද කියල තේරුම්ගන්න පුළුවන්. මුදල් හමුවේ සියළු දේවල් වල තියෙන්නෙ මුදලේ වටිනාකමක් විතරයි. මිනිස්කමේ පවා...?

සංගීතය එක්ක බැඳුණු චිත්‍රපටි බලන්න කැමති කාටත් මේ චිත්‍රපටියෙන් අපූරු අත්දැකීමක් ලැබෙයි කියල හිතනවා.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

Monday, November 21, 2011

Creation (2009) | Paul Bettany, Jennifer Connelly, Ian Kelly


අවුරුදු 20ක් පුරා ඔහු කරන්නෙ නිරීක්ෂණ. ඒ නිරීක්ෂණත්, ඒවයින් එළඹෙන නිගමනත් ඔහු සටහන් කරගන්නවා. ඔහුට යමක් තේරෙන්න ගන්නවා. හැමෝම ලෝකය ගැන විශ්වාස කරන විධියෙ අවුලක් තියෙන බව ඔහුට පේන්න ගන්නවා.

ඔහු Charles Darwin. පරිණාමවාදය විධියට අද සත්ත්වයන්ගේ ඉතිහාස කතාව විධියට ලෝකයම පිළිගන්න සංකල්පය මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන්නෙ ඔහු. හැමෝම හිතන්නෙ ලෝකය මැව්වෙ දෙවියන්වහන්සෙ කියල. නමුත් ඇත්ත ලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් හරිම ස්වභාවිකයි. ඒ වෙනස්කම් සියල්ල නොදන්න අදහසක පාලනයට යටත් කියල හිතන්න බැරි තරම්. ඒ නිසාම ඒක දිහා වෙනස් විධියකට බලන්න පුළුවන්.

ඔහු තමන්ගෙ දියණියගෙ වියෝව දරාගන්නෙ අමාරුවෙන්. ඇය ලෝකෙ ඉන්න සර්ව සම්පූර්ණ දරුව වෙයි කියලයි ඔහුත් ඔහුගෙ බිරිඳ එමාත් හිතන්නෙ. ස්වභාවික වරණය, එහෙම නැත්තං ඩාවින්ගේ Natural selection කියන මූලධර්මය අනුව ජීවීන් පරිණාමය වීම කියන අදහස ඒ විධියටම ඔහුගෙ දියණියගෙ ජීවිතේටත් බලපායි කියල ඔහු හිතන්නෙ නෑ. නමුත් අවසානයේ ඔහුට ඒක පිළිගන්න වෙනව. ඔහු ඇතුළු සියළු සත්ත්ව වර්ගයා ඔහු විසින් හඳුනාගත්තු නියමයන්ට යටත්.

මේ කතාව මෙහෙම ගලාගෙන යන්නෙ Creation කියන චිත්‍රපටියේ. මෑතකදි බලපු ඉතාම හොඳ චිත්‍රපටි අතරෙ මේකත් එකක්. විශෙෂයෙන්ම සැබෑ ජීවිතෙන් අඹු සැමියො වුණ Paul Bettany සහ Jennifer Connelly මේ චිත්‍රපටියෙ රඟපෑමම මේක බලන්න තල්ලුවක් දුන්නා. චාල්ස් ඩාවින් සෑහෙන්න මානසික අවපාතයක ඉන්න ගමන් ඔහුගේ පරිණාමවාදයේ මූලික අදහස ඉදිරිපත් කරපු The origin of species කෘතිය ලියන අතරෙ ඔහුගෙ පවුල සහ මියගිය දියණියගේ මතකයන් ඔහු වටා ගැවසීම ආශ්‍රයෙන් තමයි කතාව ගලන්නේ.

අවසානයේ ඔහු තමන්ගෙ අරමුණ කරා යන්නෙ තමන්ගෙ ජීවිතයත් ආපහු සුන්දර තැනකට යොමුකරගන්න ගමන්... මම හිතන්නෙ මේක ස්වභාවිකත්වය පිළිගන්න කවුරුත් නැරඹිය යුතු චිත්‍රපටියක්!



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Tuesday, November 1, 2011

Another Earth (2011) | Brit Marling, William Mapother, Matthew-Lee Erlbach


Rhoda Williams කවදාවත් හිතන්නෙ නෑ තමන් අතින් ඒ අනතුර සිද්ධ වෙයි කියල. නමුත් ඒක වෙන්නෙ නොහිතපු වෙලාවක. ඒ වෙලාවෙ වේගයෙන් රිය පදවමින් ඉන්න අතරෙ රේඩියෝවෙ කිව්වෙ පෘථිවියට පේන්න අරගෙන තිබුණ අළුත් පෘථිවිය ගැන. ඔව්... ඒක පුදුම හිතෙන දෙයක්. අපි ඉන්න පෘථිවිය වගේම තවත් එකක්. හඳකුත් එක්ක.

ඒ වෙලාවෙ අහසෙ පේන්න තිබුණ අළුත් පෘථිවිය දිහා බලාගෙන එලවන්න ගිහින් සිදුවුණ අනතුරේ ප්‍රතිඵලය වුණේ අවුරුදු 4ක් අඩස්සියේ ඉන්න සිද්ධ වෙන එක විතරක් නෙවෙයි. දැඩි මානසික පීඩනයක්...

අවුරුදු 4කට පස්සෙත් අළුත් පෘථිවිය පේන්න තිබුණ. ඒකට මිනිස්සු යවන්න එක එක වැඩසටහන්, ලොතරැයි වර්ග ගොඩක් තිබුණ. ඒක අරුම පුදුම මූලධර්ම ගොඩකින් නිර්වචනය වුණ ඇත්තක්... රෝඩාට උවමනා වුණේ ඒකට යන්න... අවුරුදු 4ක් තිස්සෙ ඇයව පෙලමින් තිබුණ වරදකාරී හැඟිමෙන් ගැලවෙන්න ඇයට කරන්න තිබුණෙ ඒක විතරයි...

ඇය ඒ වෙනුවෙන් මහන්සි වෙනව... නමුත් රිය අනතුරෙන් මියගිය කාන්තාවගේ සැමිය... නැත්තං ඒ දරුවගෙ තාත්ත තවම ජීවතුන් අතර ඉන්න බව දැනගැනීමත් එක්ක රෝඩාගෙ ජීවිතේ බලාපොරොත්තුවක් මතු වෙනව. ජීවත් වෙන ඒ මනුස්සයට උදව්වක් කරන්න ඇයට උවමනා වෙනව. ඇය ඔහුට ටිකෙන් ටික ලං වෙන්නෙ ඇගේ ඇත්ත කතාව සඟවමින්...

ඒ අතරෙ ඇය අළුත් පෘථිවියට යාම වෙනුවෙන් තිබුණ තරගයකින් ජය ගන්නව...

කොහොමද තමන්ට තමන්වම මුණ ගැහුණොත්... එහෙම නැත්තං තමන්ගෙන් බැහැර වෙලා තමන් දිහා බලන්න පුළුවන් වුණොත්....

වෙව්ලන සීතලේ ගෙවෙන කම්මැලි දවස් කීපයක් අතරදි මේ සුන්දර චිත්‍රපටිය බලන්න ලැබුණම දැණුනෙ අප්‍රමාණ සතුටක්. මට මේක බලද්දි මතක් වුණේ The Man from Earth චිත්‍රපටිය. ඒ චිත්‍රපටියෙ වගේම මේකෙත් හොඳම කොටස තියෙන්නෙ සාර්ථක පිටපතේ කියල කිව්වොත් මම හරි වෙන්න ඕන. ඒ වගේම ප්‍රධාන නිළිය විධියට රඟපාන Brit Marling චිත්‍රපටිය පුරාම මාව ඒකට අලවල තිබ්බා.

මේ චිත්‍රපටිය තරුණ වැඩක්. මේකෙ අධ්‍යක්ෂක Mike Cahill ක්ෂේත්‍රයේ විවිධ දේවල් කරමින් අධ්‍යක්ෂණයට පිවිසුන කෙනෙක්. ඔහු අනාගතේ ලොකු වැඩකාරයෙක් වෙයි කියල හිතෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න
Related Posts Plugin for WordPress, Blogger...