Tuesday, August 30, 2011
Vaaranam Aayiram - A Thousand Elephants (2008) | Surya, Simran, Divya
අද කියන්න යන Vaaranam Aayiram දෙමළ චිත්‍රපටිය පහුගිය දවසක බලන්න ලැබුණ සුපිරි දෙමල චිත්‍රපටියක්. ඒ වගේම මේක සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටියක තියෙන ලක්ෂණ ඉකිමවා ගිය එකක්. මේක ගැන මුල්ම ඔත්තුව හම්බ වෙන්නෙ G+ එකේ කවුරු හරි යාළුවෙක් ෂෙයා කරපු වීඩියෝවකින්. මේකෙ ඉන්න ප්‍රධාන නළුව නිසයි ඇත්තටම චිත්‍රපටිය බාගන්න හිතුවෙ.
සූරියා කියන සොල්දාදුව (මේ චරිතය කරන්නෙ සූර්යා සිවකුමාර් කියන නළුව) මෙහෙයුමකට පිටත් වෙලා ඉන්න අතරෙ ඔහුට ඇමතුමක් එනව තමන්ගෙ පියා අභාවප්‍රාප්ත වුණා කියල. නමුත් ඔහු තමන්ගෙ මෙහෙයුම නතර කරන්නෙ නැතිව ඒකට පිටත් වෙනවා. ඒ යන ගමන පුරාවට ඔහු තමන්ගෙ පියාත් තමනුත් අතරෙ පුංචි කාලෙ ඉඳන් තිබුණ සම්බන්ධය සිහි කරනවා. ඒ සිදුවීම් පෙල තමයි කතාව අවසන් වෙනකම්ම ගලන්නේ. නමුත් ඒ සිදුවීම් අතරෙ චිත්‍රපටි කිපයක කතා තියෙනවා. මේකෙ සුර්යාගෙ පියා (ඔහුගේ චරිතය කරන්නෙත් සූර්යාමයි.) බොහොම විවෘත අදහස් තියෙන පුද්ගලයෙක්. ඔහු තමන්ගෙ දරුවො දෙන්නව හදන්නෙ බොහොම නිදහස්ව ඒ තුලම ඔහු එහුගෙ අසීමිත ආදරය දරුවන්ට දෙන විධිය චිත්‍රපටිය පුරා අපූරුවට කියවෙනවා.
එක අතකින් කතාව මේ විධියට ඉදිරිපත් කිරීමම අධ්‍යක්ෂ ගෞතම් මෙනන් මහත්තයගෙ දක්ෂකම සහ කපටිකම. මොකද මේ ඉදිරිපත් කිරීම ඇතුලෙ සරල ප්‍රේම කතා, වීර කතා, රහස් පරීක්ෂක කතා වගේම දුරාචාරය ගැන කතාත් අඩංගු වෙනවා. කතාවෙ ඉන්න පුතා පාසල් යන වියේදි, පෙම්කරන වියේදි, ප්‍රේමය බිඳ වැටිල විනාශයට ඇද වැටෙද්දි, නැවත ටිකෙන් ටික ගොඩ එද්දි සහ ජීවිතය ජයගන්න කාලෙදි තාත්ත කියන මනුස්සය නිහඬව, ඒත් හෙවණැල්ලක් වගේ පස්සෙන් ඉන්න හැටි හදවතට දැණෙනවා.
මේකෙ සූර්යාගෙ රඟපෑම් නම් සුපිරි. වේශ නිරෑපණය ඒ තරම්ම සාර්ථක නැති අවස්ථා පෙණුනත් රඟපෑම් තුල ඒ අඩුපාඩු සම්පූර්ණයි වගේ. ඒ වගේම තමන්ගෙ ශරීරය චරිතයේ ඒ ඒ අවස්ථා අනුව වෙනස්කරගන්නත් සූර්යා උත්සාහ දැල තියෙන බව පේනවා. ඒ කියන්නෙ ඔහු මේ චරිත දෙක වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් කරල තියෙනවා. ක්‍රිස්ටියන් බේල් The Machinist චිත්‍රපටිය වෙනුවෙන් වෙනස් වුණ විධියට පස්සෙ යාන්තම් එහෙම එකක් දැක්කමද කොහෙද මම. ඒ වගේම මේක අධ්‍යක්ෂවරය තමන්ගෙ පියා සහ තමන් අතර තිබුණ සම්බන්ධය ගැන ලියපු කතාවක්. ඔහු තමන්ගෙ පියාට තිබුණ දැඩි ආදරය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ. කතාවෙ තේමාව වෙන්නෙත් හැම සාර්ථක මනුස්සයෙක් පස්සෙන්ම හොඳ තාත්ත කෙනෙක් ඉන්නව කියන එකයි.
මේක දෙමල චිත්‍රපටි රසිකයන්ට වගේම අනිත් අයටත් අල්ලල යයි කියල හිතන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද මේක අහවල් වර්ගයේ එකක් කියල කියන්න බැරි, හැම වර්ගයේම ලක්ෂණ තියෙන චිත්‍රපටියක්. බලන්න ගත කරන පැය දෙක හමාර පාඩුවක් නම් නෑ...
Monday, August 22, 2011
The Best Little Whorehouse in Texas (1982) | Burt Reynolds, Dolly Parton, Dom DeLuise
The Best Little Whorehouse in Texas කියන චිත්‍රපටිය ගැන මුල්ම ඔත්තුව දුන්නෙ G+ එකේ ටිරෝන්. Dolly Parton ටිකක් ආදි කාලෙ නිලියන් අතරින් මම කැමති කෙනෙක් නිසා මේක හොයාගෙන බලන්න ඕන කියල හිතුණා. මුලින් ටිකක් කම්මැලි වෙයිද මන්දා කියල පොඩ්ඩක් සැක හිතුණත් ටික වෙලාවක් යද්දිම කතාව ගොඩක් රසවත් එකක් බව තේරුණා.
චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ වෛශ්‍යා ශ්‍රමිකයන් සපයන ස්ථානයක් වටෙයි. සරලව කිව්වොත් ගණිකා නිවාසයක් තුල ජීවත්වෙන තරුණියන් පිරිසකගෙ ඉරණම තීරණය වෙන කතාවක් තමයි මේක. හැබැයි ඔය ගණිකා නිවාසය කියන නම කියපු ගමන් අපට හිතෙන දේවල් එක්ක නම් මේකෙ කොහෙත්ම බලන්න බෑ.
මේ නිවාසය ඇමරිකා එක්සත් ජනපදයෙ ටෙක්සාස් ජනපදයෙ ලැන්විල් කියන කෝරලයෙ පිහිටල තියෙන එකක්. ඒක පටන් අරන් තියෙන්නෙ 1910දි. බොහොම හොඳ සේවාවත් ප්‍රිය මනාප බව සහ ප්‍රශ්ණ අවම වීම නිසත් මේ වෛශ්‍යා නිවාසය නගරයෙන් පිටත් සෑහෙන ජනප්‍රිය එකක් වෙනව. මුදල් හිඟ වුණ කාලෙකදි මිනිස්සු තමන්ගෙ ගොවිපලවල කිකිලියන් ගෙනත් දීල ඒ හිලව්වට සේවය ලබාගත්තු නිසා මේ නිවාසය ගොඩක් ජනප්‍රිය වෙන්නෙ Chicken Ranch නමින්. පරම්පරාවකට පස්සෙ මේකෙ ප්‍රධාන පාලිකා ධුරය හම්බ වෙනව කාලයක් ඒකෙ වැඩ කරපු දක්ෂ සේවිකාවක් වෙන Mona Stangley මෙනෙවියට. ඇගේ ප්‍රධාන සේවා ලාභිය තමයි නගරයේ ෂෙරීෆ්වරයා. මේ නිසා නීතියේ ආරක්ෂාවත් මේ ස්ථානයට ලැබෙනවා. ඒ වගේම පිටින් මේ ස්ථානයට එන අයට වෙනත් වෙනත් සේවාවන් සපයන්න සිද්ධ වීම නිසා නගරයේ අනෙකුත් කර්මාන්ත, ආදායම් මාර්ගත් දියුණු වෙනවා. මේ නිසා ඒ නගරයේ කවුරුත් චිකන් රෑන්ච් වෛශ්‍යා නිවාසය ගැන ප්‍රසාදයෙන් තමයි ඉන්නේ. තමන්ගෙ සැමිය සතියකට වතාවක් ඒකෙ සේවය ලබාගැනීම ගැන ආඩම්බර වෙන බිරින්දෑවරුත් ඔය නගරයේ ඉන්නවා.
නමුත් සේරම වෙනස් වෙන්නෙ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්ට මේ නිවාසය ගැන ආරංචි වුණාම. ඔහු මේ ගැන රූපවාහිනියෙන් කියනවා. මේ නිවාසය වහන්න ඕන කියල බල කරනවා. චිත්‍රපටියෙ අවසානය අවිනිශ්චිත විධියට ආදර කතාවක් බවට පත්වෙන්නෙ ඔය අර්බුදය මැද්දෙ තමයි.
මේ චිත්‍රපටිය ටිකක් සංගීතමය එකක්. නිකං හින්දි චිත්‍රපටියක් ඉංග්‍රීසියෙන් තියෙනව වගේ ගතියක් සමහර සංගීතමය ජවනිකා වල තිබුණා. ඒ වගේම බොහොම අපූරු නර්තන ජවනිකා කීපයක්ම අන්තර්ගතයි. මේකෙ ෂෙරීෆ්ගෙ චරිතය රඟපාන Burt Reynolds හොඳ රඟපෑමක නිරත වෙනව කියල මට හිතුණා. Dolly Parton රඟපාල තියෙන්නෙ චිත්‍රපටි කීපයක වුණාට ඇය බොහොම ස්වභාවිකව රඟපාන නිලියක් කියල මට හිතිලයි තියෙන්නෙ. (දන්නව නේද මුල්ම ක්ෂීරපායි ක්ලෝනය වුණ ඩොලී කියන බැටළු පැටිය ගැන? ආන්න එයාව නම් කරල තියෙන්නෙත් මේ ඩොලී පාටන්ගෙ නමින්) ඒ එක්කම ඇඟේ හඬත් බොහොම සුන්දරයි. ඇමරිකානු කන්ට්‍රි සංගීතයට ඇගෙන් තොරව පැවැත්මක් නැති බවකුයි කියවන්න ලැබුණෙ.
මට හොඳට හිතට අල්ලපු ජොලිබර චිත්‍රපටියක්. ලොකු ළමයි බැලුවට පාඩුවක් නෑ.
Tuesday, August 16, 2011
The Pixar Story (2007) | Stacy Keach, John Lasseter, Brad Bird
චිත්‍රපටි ගැන කියනව වගේම චිත්‍රපටි හදන අය ගැනත් කියන්න ඕන කියල හිතුණේ The Pixar Story චිත්‍රපටිය බැලුවට පස්සේ. මේ ගැන මුල්ම ඔත්තුව දුන්නෙ ටෙක්නිකල් හන්දිය බ්ලොග් අඩවියෙන්. ඔවුන්ට මුලින්ම ස්තූතියි ඔත්තුව දුන්නට! මේක pixar සමාගමේ ආරම්භය සහ ඔවුන්ගේ ගමන්මග ගැන කෙරුණු වාර්තා චිත්‍රපටියක්.
චිත්‍රපටි බලන කෙනෙක් පික්සාර් සමාගම ගැන නොදැන ඉන්න විධියක් නෑ. අඩු තරමෙ ඔවුන්ගෙ ජනප්‍රිය වීඩියෝ ලෝගෝව වෙන පුංචි මේස ලාම්පුවෙ වීඩියෝවවත් නොදැකපු කෙනෙක් ඉන්න පුළුවන්ද? මෙයාලගෙ අළුත් චිත්‍රපටියක් එනකල්නෙ දැන් අපි බලාගෙන ඉන්නේ... :D
මේ චිත්‍රපටියෙ තියෙන්නෙ පික්සාර් සමාගම හැදුන හැටි, ඔවුන් මුලින්ම කරපු අත්හදාබැලීම්, ඔවුන්ට ආපු කරදර සහ ඒවයින් ගොඩ ඒම වගේ කරුණු ටිකක්. ඔවුන්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටිය වුණ Toy Story වල ඉඳලා 2006 දි ආපු Cars චිත්‍රපටිය දක්වා ඔවුන් කරපු කියපු දේවල් එක්ක ඒ දක්වා ඔවුන් දියුණු වුණ විධිය ගැන ලස්සනට කියවෙනවා මේ චිත්‍රපටියෙන්.
මම හිතන්නෙ වැඩිය කියනවට වඩා බලන්න ආරාධනා කරන එක හොඳ වෙයි. මොකද මේකෙ කතාවක් නැති නිසා කියවෙන කරුණු ටික බලලම දැනගන්න එක හොඳයි.
Monday, August 15, 2011
Hum Hain Rahi Pyar Ke (1993) | Aamir Khan, Juhi Chawla, Dalip Tahil, Mushtaq Khan
අද කියන්නෙ ටිකක් පරණ හින්දි චිත්‍රපටියක් ගැන. Hum Hain Rahi Pyar Ke. මේක නොබලපු හින්දි චිත්‍රපටි රසිකයෙක් ඉන්න බෑ. ගොඩක් මෑතකදි චිත්‍රපටි බලන්න ගත්තු අය ඇරුණම ඔය ටැලිවිසන් වල පෙන්නන ඒව බලල තියෙන අය මේ චිත්‍රපටිය අනිවා බලල ඇති. මොකද චැනල් කීපයකම මේ චිත්‍රපටිය පෙන්නල තියෙනව. ඒ වගේම ඔය සැටලයිට්, කේබල්, අයිපී වගේ රූපවාහිනී අරගෙන තියෙන අයට ඒවයෙ තියෙන හින්දි චැනල් වලිනුත් මේක පෙන්නල තියෙනව කියල මතක ඇති.
සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටියක කතාවෙ ලොකු වෙනසක් නෑනෙ. කොල්ල, කෙල්ල එක්ක ජෝකර් කෙනෙක් සහ දුෂ්ඨය තමයි ප්‍රධාන චරිත ටික විධියට තියෙන්නේ. ඒක මෑතක ඉඳන් වෙනස් වෙමින් තිබුණත් දැනටත් බොලිවුඩ් චිත්‍රපටියක ඔය ලක්ෂණය ප්‍රධාන එකක්.
Hum Hain Rahi Pyar Ke චිත්‍රපටියෙත් එහෙමයි කතාව තියෙන්නෙ. රාහුල් මල්හෝත්‍රා කියන තරුණයගෙ සොහොයුරියත්, ඇගේ ස්වාමියත් හදිසියේම මොලොවින් සමුගන්නෙ ඔවුන් දෙන්නගෙ දරුවො තුන්දෙනයි, ඇඳුම් ව්‍යාපාරයයි රාහුල්ට පවරලා. දරුවො තුන් දෙනත් එක්ක, අර්බුදයකට මැදි වුණ ව්‍යාපාරය නිසා රාහුල් අමාරු අඩියකට වැටෙනවා. මේ අතරෙ පියාගේ බලයෙන් තමන්ට කරල දෙන්න යන විවාහයෙන් ගැලවෙන්න විජයන්ති කියන තරුණිය ගෙදරින් පැනල යනව. මෙයාට හමුවෙනව අර දරුවො තුන්දෙනා. ඊට පස්සෙ මේ තරුණියත් රාහුල් සහ දරුවො ඉන්න ගෙදරම ජීවත් වෙන්න ගන්නව. කතාවෙ ඉතිරි ටික කියන්න ඕනත් නෑ වගේනේ...
අමීර් සහ ජුහී මගේ ප්‍රියතම දෙන්නෙක්. ඔවුන් දෙන්නම රඟපාපු තවත් චිත්‍රපටියක් ගැන පසුවට කියන්නයි ඉන්නේ. දුෂ්ඨය විධියට ඉන්න Dalip Tahil මම කැමතිම දුෂ්ඨ නළුවෙක්. මේ චිත්‍රපටියෙත් ඔහු ඒ චරිතයටම විශේෂ වුණ රඟපෑමක යෙදෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙ තියෙන සින්දු ටික ගැන කියන්නම දෙයක් නෑ. අල්කා යාග්නික් එක්ක කුමාර් සානු සුසංයෝගයේ ස්වර්ණමය යුගයේ ගැයුණු සින්දු ටිකක්. ඒව කාලයක් ලංකාවෙ හොඳටම නැගල ගිය සින්දු.
මම හිතන්නෙ කාලය, භාශාව හෝ නළු නිලියෝ ගැන සලකලා චිත්‍රපටි නොබලන අයට මේකෙන් වැඩක් නැති වෙයි. නමුත් හොඳින් චිත්‍රපටි රස විඳින ඕනම කෙනෙක්ට මේ චිත්‍රපටිය හොඳ තෘප්තියක් ලබාදෙයි. ඒ එක්කම මේක බාගන්න අතරෙ ඉවසීම ප්‍රගුණ කරන්නත් පුළුවන්.
Friday, August 12, 2011
Milk (2008) | Sean Penn, Josh Brolin, Emile Hirsch, James Franco
හොලිවුඩ් චිත්‍රපටි නිතර බලන කෙනෙක්ට Sean Penn කියන නළුවව මිස් වෙන්න විධියක් නෑ. අද කියන්න යන්නෙ ඔහුගෙ විශිෂ්ඨ රංගනයක් බලාගන්න පුළුවන් Milk චිත්‍රපටිය ගැන. මේක චරිතාපදානයක්. 1970 ගණන්වලදි දේශපාලනයට ආපු ඇමරිකානු සමරිසි ක්‍රියාකාරිකයෙක් වුණ Harvey Milk ගැන තමයි මේ චිත්‍රපටිය.
Harvey Milk ඒ වකවානුවෙදි බටහිර රටවලත් පාපයක් විධියට සැලකුණු සමලිංගිකත්වය සහ සමරිසි පුද්ගලයන්ගෙ සමාජ අයිතීන් ගැන කතා කරපු, ඒ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. සමරිසිභාවය සාමාන්‍ය දෙයක් සහ ඒක සමාජයට කරන අමුතු බලපෑමක් නෑ කියන අදහස කියාපෑම තුලින් ඔහු තමන් වටේ යම් බලයක් ගොඩනගාගන්නවා. ඒ නිසාම ඔහුට අවුරුදු 48දි මැරුම්කන්නත් සිද්ධ වෙනවා.
චිත්‍රපටියෙ තියෙන්නෙ ඔහුගෙ ජීවිතේ අවුරුදු 40න් පසු අවුරුදු 8ක කාලය ගෙවුණ විධියයි. ඔහුත් ඔහුගෙ පෙම්වතාත් නිව්යෝක් නගරය අත්ඇරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට එනවා. ඒ වකවානුව සැන්ෆ්‍රැන්සිස්කෝවෙ තියෙන කැස්ත්‍රෝ කියන ප්‍රදේශයට සමරිසි පුද්ගලයන් සංක්‍රමණය වුන කාලයක්. හාවි මිල්ක් මේ ප්‍රදේශයෙ පුංචි සේයාපටල අලෙවිසැලක් පටන්ගන්නවා. ඒ හරහා ඔහු වටපිටාවෙ ඉන්න සමරිසි පුද්ගලයින්ගෙ එකතුවක් හදාගෙන ඒකට නායකත්වය දෙනවා. පසුව ඔහු සැන්‍ෆ්‍රැන්සිස්කෝ නගරයේ අධිකාරි බලය දරණ මණ්ඩලයේ අසුනක් දිනාගන්නවා. තමන්ගෙ සමරිසිභාවය ප්‍රසිද්ධියෙ පිලි අරන් ඒ හරහා දේශපාලන බලයක් දිනාගත්තු ප්‍රථම පුද්ගලය වෙන්නෙ හාවි මිල්ක් කියලයි කියවන්න ලැබුණෙ.
සීන් පෙන් මහත්තය මේකෙ කරන රඟපෑම සුවිශේෂයි. නමුත් ඔහුගෙ වෙනත් රඟපෑම් බලල නැති කෙනෙකුට ඒක එකපාරම නොදැණෙන්න පුළුවන්. ඒ නිසා පසුව විස්තරාත්මකව ලියනකල් උවමනා කෙනෙක්ට එතුම රඟපාන 21 Grams, Mystic River, I Am Sam වගේ චිත්‍රපටි බලන්න පුළුවන්. සීන් පෙන්ට අමතරව මේකෙ දැනට හොලිවුඩයේ ඉන්න තරුණ නළුවො අතරෙ වැඩ පෙන්නපු Emile Hirsch සහ James Franco දෙන්නත් රඟපානවා.
මම හිතන්නෙ මිනිස්සු හැමෝම එක එක විධියට එකිනෙකාගෙන් වෙනස්. ඒ වෙනස පදනම් කරගෙන විරුද්ධ වෙන්න, මරාගන්න ගියානම් අද වෙනකොට මිනිස් වර්ගයා නැහැ. නමුත් ඉතිහාසෙ ඉඳන් අපි ගොඩක් දක්ෂ වෙලා තියෙන්නෙත් එහෙම ඒවට තමයි. ඒත් අපි හොඳ අවසානෙකට කැමති නිසා හැම දෙයක් සම්බන්ධවම ඒක බොහොම හිමීට වෙනස් වෙමින් යයි කියල හිතමු.
Labels:
.Biography,
.Drama,
.History,
.Romance,
2008,
Dustin Lance Black,
Emile Hirsch,
English,
Focus Features,
Gus Van Sant,
James Franco,
Josh Brolin,
Milk,
Romance,
Sean Penn
Wednesday, August 10, 2011
Glory (1989) | Matthew Broderick, Denzel Washington, Morgan Freeman, Cary Elwes
ඊයෙ කියපු John Q චිත්‍රපටියටත් ඒකෙ ප්‍රධාන නළු Denzel Washington මහත්තයටත් ගොඩක් දෙනා කැමති බව පෙණුනා. අද කියන්න යන Glory චිත්‍රපටියෙත් Denzel Washington තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම සහය නළුවට හිමි ඇකඩමි සම්මානය ලැබුණා.
මේ චිත්‍රපටිය ඩෙන්සිල් ගැන හොයද්දි මාට්ටු වුණ එකක්. කාලයක්ම යන්තරේ ටොරන්ට් ගොනුවෙ තිබුණ එකක්. බැකප් කරන්න කලින් ලියන්න ඕන කියල හිතුණ. චිත්‍රපටියට පසුබිම් වෙන්නෙ 1860 ගණන් වලදි පැවතුණු ඇමරිකානු සිවිල් යුද්ධයයි. ඇමරිකානු සිවිල් යුද්ධයෙදි වෙලා තියෙන්නෙ ඇමරිකාවම දෙකට බෙදිල ගහගැනිල්ලක්. එක් පිරිසක් ඒ වකවානුවෙදි තිබුණ වහල් නීති අවලංගු කරපු පිරිසක්. අනිත් කණ්ඩායම වහල්භාවය අවශ්‍යයි කියන මතය අනුව හිටපු පිරිසක්. කොහොම නමුත් වහල්බව නැති කරන්න ක්‍රියාත්මක වුණ පාර්ශවයේ ප්‍රධානියා වුණේ පසුව ඇමරිකාවෙම ජනාධිපති වුණ ඒබ්‍රහම් ලින්කන් මහත්තය.
ඒ අතුරු කතාවක්... චිත්‍රපටියෙ තියෙන්නෙ මේ ලින්කන්ගෙ පාර්ශවයට අයිති හමුදා භට කණ්ඩායමක කතාවක් ගැනයි. ඒ වකවානුවෙ කළු ජාතිකයන් හමුදා සේවයේ හිටියෙ කම්කරුවො විධියට විතරයි. එයාලට තිබුණෙ ඔය තුවාල කාරයො ගේන, මිය ගිය අය එකතු කරන, වලවල් හාරන වගේ වැඩ. ඒත් මැසචුසෙට් ආණ්ඩුකාරවරය විසින් කළු හමුදා භටයන්ගෙන් සමන්විත පලවෙනි රෙජිමේන්තුව වෙන 54th Massachusetts Volunteer Infantry පිහිටුවන්න පියවර ගන්නවා. ඒකෙ අණ දෙන නිලධාරිය විධියට පත් කරන්නෙ Colonel Robert Gould Shaw කියන තරුණයව. ඔහු තමන්ගෙ පියාගෙ බලය නිසා තැනකට ආපු කෙනෙක් මිස යුධ උපායන් පිළිබඳ ඒ තරම් අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් සංවේදී හදවතක් හිමි පුද්ගලයෙක්. චිත්‍රපටිය පුරා ඔහු තමන්ගෙ කළු හමුදා භටයන් පුහුණු කරවන ආකාරයත්, ඔවුන්ගෙන් පවා ඉගෙනගනිමින් හොඳ නායකයෙක් වෙන විධියත් තමයි තියෙන්නෙ. චිත්‍රපටිය හැදිල තියෙන්නෙත් කර්නල් ෂෝ විසින් තමන්ගෙ මවට සහ පියාට ලියපු ලිපි ආශ්‍රයෙන් කියල තමයි කියවන්න ලැබුණෙ.
Morgan Freeman මේ චිත්‍රපටියෙ රඟපාන්නෙ වැඩිහිටි දැනුම් තේරුම් සහිත සොල්දාදුවෙක් විධියට. Denzel Washington නම් නාහෙට අහන්නෙ නැති විප්ලවවාදී හමුදා භටයෙක්. Matthew Broderick ඉන්න ගොඩක්ම ජනප්‍රිය චිත්‍රපටි නැති වුණාට ඔහු මේ චරිතය සෑහෙන්න හොඳින් රඟපානව කියල හිතෙනවා. මෝගන් සහ ඩෙන්සිල් දෙන්නගෙ රඟපෑම් වුණත් ඉහලින්ම තියෙනව.
මේ චිත්‍රපටියට තේමාව වෙන්නෙ යුද්ධයට වඩා ආත්ම ගරුත්වය කියන එකයි. ඒ වකවානුවෙදි කල්ලන්ට, තමන්ගෙ හම කළු වීම නිසාම තිබුණ පහත් තැන නැති කරමින් ඔවුන් තමන්ගෙ ගෞරවය දිනාගැනීම තමයි චිත්‍රපටිය තුලින් අන්තිමට පෙන්වන්නෙ.
සෑහෙන්න තරමකට පැරණි යුධ චිත්‍රපටියක්. සංවේදී තැන් බොහොමයක් එක්ක විශිෂ්ඨ රඟපෑම් කීපයක්ම තියෙන චිත්‍රපටියක්.
Tuesday, August 9, 2011
John Q (2002) | Denzel Washington, Robert Duvall
Denzel Washington කියන්නෙ හොලිවුඩයේ ඉන්න කළු ඇමරිකානු නළුවන්ගෙන් දක්ෂතම නළුවෙක්. බොහොමයක් කාලෙක ඉඳන් ඔහු තමන්ගෙ ජනප්‍රියත්වය එක වගේම රඳවගන්න සමත් වුන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුට තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පුළුවන් විධියෙ චරිතත් ලැබෙන බවක් පේනවා.
අද කියන්න යන John Q චිත්‍රපටියත් ඔහු රඟපාන හොඳ, හැඟීම්බර කතාවක් තියෙන පවුලේ චිත්‍රපටියක්. කතාව හොඳයි කියල විශේෂයෙන් කිව්වෙ මේකෙ රඟපෑම් සහ සිනමාත්මක බව සම්බන්ධයෙන් ඒ තරම් ලකුණු දෙන්න බැරි නිසා. මොකද රඟපෑම්වල ඒ තරම්ම ස්වභාවික නැති ඕනවට වැඩි ගතියක් මට දැණුනා. ඒ එක්කම ටිකක් විතර කෘතිම බවක් දැණුන අවස්ථා කීපයක්ම මට තේරුණා. නමුත් චිත්‍රපටිය බලල රස විඳින්න ඒ දේවල් ඒ තරම් බාධාවක් වෙන්නෙ නෑ. මොකද කතාව තාර්කිකයි වගේම මුල ඉඳන් අගටම බලාගෙන ඉන්න පුළුවන් විධියෙ රසවත් කතාවක්.
John Quincy Archibald කියන්නෙ යකඩ කම්හලක වැඩ කරන ඒ තරම් සල්ලිය බාගෙ නැතත් තමන්ගෙ බිරිඳත්, එකම පුතා මයිකලුත් එක්ක සතුටින් ධාර්මිකව ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහුත් බිරිඳත් ආර්ථික ගැටළු ගොඩකට මුහුණ දීල හිටියත් ඔවුන් දෙන්නා මයිකල්ට අඩුවක් නොකර එයාට ගොඩක් ආදරය දක්වනවා. ඒත් එක දවසක බේස් බෝල් තරගයක් මැදදි මේ හුරුබුහුටි දරුවා හිටිගමන් සිහිනැතිව වැටෙනවා. දරුවට ප්‍රතිකාර කරන වෛද්‍යවරු කියන්නෙ මයිකල්ගෙ හදවත දුර්වල බවක්. වහාම හදවත් බද්ධයක් නොකලොත් දරුවගෙ ජීවිතේ දින කීපයක් වෙන්නත් පුළුවන් බවයි ඔවුන් කියන්නෙ. නමුත් හදවත් බද්ධයට වැය වෙන වියදම දරන්න ජෝන්ට පුළුවන් කමක් නෑ. ඔහුගෙ රක්ෂණයෙනුත් ඒ මුදල පියවගන්න වෙන්නෙ නෑ.
සියළු උත්සාහයන් අසාර්ථක වෙද්දි තමන්ගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න ජෝන් කරන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් කරන්න නොහිතන දෙයක්. ජෝන් තමන්ගෙ සියළු ප්‍රතිපත්ති පැත්තකින් තියලා තමන්ගෙ දරුව වෙනුවෙන් දරුණු පියවරක් ගන්නවා.
මේක කියවන ඔයාල කී දෙනෙක් තාත්තලද කියන්න මම දන්නෙ නෑ. නමුත් අපි සේරම තාත්තලගෙ ළමයි නිසා තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවෙක් වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියල අපි දන්නව. ඒ දැනගැනීම හොඳින්ම සාක්ෂාත් වෙනගමන් හිතට. හදවතට. ඇස් දෙකට හොඳින් වදින්න තාත්ත කියන මනුස්සයව දැණෙන චිත්‍රපටියක් මේක.
කොයි කවුරුත් බැලුවට පාඩුවක් නම් නෑ...
Labels:
.Biography,
.Crime,
.Drama,
2002,
Denzel Washington,
English,
James Kearns,
John Q,
New Line Cinema,
Nick Cassavetes,
Robert Duvall,
Thriller
Monday, August 8, 2011
The Piano (1993) | Holly Hunter, Harvey Keitel, Sam Neill
The Piano චිත්‍රපටිය සංගීතය එක්ක ගලන චිත්‍රපටියක්. සංගීතය එක්ක බැඳුණු කාන්තාවක් ගැන කියවෙන චිත්‍රපටියක්. බාගෙන සෑහෙන්න කාලයක් තිබිල පහු ගිය දවසක බලන්න පුළුවන් වුණා. මුලදි ටිකක් විතර කම්මැලි වුණත් ටික දුරකදි සෑහෙන්න ලස්සන තැනකට කතාව ආවා.
ඇඩා කියන්නෙ එකදාස් අටසිය ගණන් වලදි ස්කොට්ලන්තෙ ජීවත් වුණ තරුණ මවක්. ඇය ගොළුයි. නමුත් දක්ෂ පියානෝ ශිල්පිනියක්. ඒ වගේම ඇයට අවුරුදු 10ක විතර සැර දියණියක් ඉන්නවා. නවසීලන්තයෙ ඉන්න පුද්ගලයෙක් එක්ක නැවත විවාහ වෙන ඇය තමන්ගෙ දියනියත් පියානෝවත් එක්ක නවසීලන්තයට යනවා. එහේ ගොවියෙක් විධියටයි ඇගේ අළුත් ස්වාමි පුරුෂයා වැඩ කරන්නෙ. නමුත් ඔහුට මුදල් හිඟ නිසා ඔහු ඇඩාගෙ පියානෝව අසල්වැසි පුද්ගලයෙක්ට විකුණනවා. ඒ මනුස්සයට පියානෝව ඉගැන්වීමෙන් ඇයට ආයෙත් පියානෝව අයිති කරගන්න පුළුවන් විධියෙ ගණු දෙනුවක් එතනදි වෙනවා. ඉතිං ඇඩා හැමදාම පියානෝ පාඩම් දෙන්න අසල්වැසියගේ නිවසට යනවා. කතාව වෙනත් මානයකට ඇදෙන්නෙ එතන ඉඳන්... ඇඩාගෙ මුළු ජීවිතේම වෙනත් පැත්තකට යැවෙන සිදුවීම් පෙල එතනින් ඇරඹෙනවා.
කතාවෙ ඉන්න නළු නිලියෝ කීප දෙනාම ඒ තරම් ජනප්‍රිය වුණ චිත්‍රපටි වල රඟපාපු අය නෙවෙයි. නමුත් ඔවුන් සෑහෙන්න කාලයක් ක්ෂේත්‍රයෙ ඉන්න ප්‍රවීණ ශිල්පීන්. මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඇඩාගෙ චරිතයට පණ පොවපු Holly Hunter සහ ඇගේ දියනිය විධියට රඟපාපු Anna Paquin ඇකඩමි සම්මාන දිනාගෙන තියෙනවා. ඒ එක්කම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Jane Campion ටත් හොඳම තිර රචනය වෙනුවෙන් සම්මාන ලැබිල තියෙනවා. චිත්‍රපටියක තත්ත්වය සම්මාන වලින් මනින්න බැරි වුණාට සම්මාන ගැන ලියන්නෙ ඒ ගැන සැලකිලිමත් වෙන අයටත් චිත්‍රපටිය බලන්න ගැම්මක් දෙන්නයි.
චිත්‍රපටියෙ තියෙන සංගීත ඛණ්ඩ නම් සුපිරි. චිත්‍රපටියට මම කැමති වුණෙත් ඒ නිසාමයි. ඒ නිසා කැමති කෙනෙක්ට ගන්න Soundtrack එකටත් සබැඳියක් තියෙනවා.
Labels:
.Biography,
.Drama,
1993,
English,
Harvey Keitel,
Holly Hunter,
Jane Campion,
Romance,
Sam Neill,
The Piano
Saturday, August 6, 2011
Moonstruck (1987) | Cher, Nicolas Cage
කාලයක් මුකුත් නොලිය හිටියෙ එක එක කේස් එක්ක කම්මැලිකම හොඳටම ඔළුවට ගහල තිබුණ නිසා. ඒත් පටන් ගත්ත වැඩේ කරන්න එපැයි.
අද කියන්න යන්නෙ මම මෑතකදි හොඳට රස විඳපු ලස්සන චිත්‍රපටියක් ගැන. Moonstruck චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ Cher ගැන හොයන්න ගිහින්. දන්නවනෙ එයා දශක කීපයක ඉඳන්ම ගායන ලෝකයේ තැනක ඉන්න ප්‍රසිද්ධ පොප් ගායිකාවක් කියල. ඒ එක්කම එයා ඇකඩමි සම්මානයක් පවා ලබපු නිලියක් කියල දැනගත්තමයි මම පත්තු වුණේ. එහෙනම් එයාගෙ රඟපෑම් බලන්නම වෙනවනේ.. ඔන්න ඉතිං අපේ චිත්තරපටි ගැන හොයන්න තියෙන මුල්ම තැන හෙවත් IMDB යෙන් තොරතුරු හොයාගත්තා 'චර්' ඇකඩමි සම්මානෙ ගත්තු Moonstruck චිත්‍රපටිය ගැන. ඇත්තටම ඇගේ රඟපෑම නියමයි. මියුසික් වීඩියෝ වල ඉන්නවට වඩා ලස්සනයි.
ඇත්තටම ඒක මට දැණුන චිත්‍රපටියක් වුණා. Cher සහ Nicolas Cage එක්ක චිත්‍රපටියෙ කතාව සෑහෙන්න අල්ලල ගියා. හැබැයි නිකලස් ලොක්කගෙ රඟපෑම නම් ඒ තරම්ම වැදුණෙත් නෑ. මම හිතන්නෙ මේක එයාගෙ ආධුනික අවධියෙ චිත්‍රපටියක් නිසා වෙන්න ඇති.
ලොරිටා කියන්නෙ බෲක්ලින් නගරයේ ඉන්න පොත් තබන්නියක්. ඇයගෙ සැමියා රිය අනතුරකින් මිය ගියේ අවුරුදු කීපයකට කලින්. ඇගේ වයස දැන් තිහත් පැනලා. ඇයට හිතවත්කමින් ඉන්න ජොනී කියන මහත්තයා ඔය අතරෙ ඇයට විවාහ යෝජනාවක් ගේනව. ඇය ඒකට කැමති වෙනව. ඉතිං විවාහය ගැන ජොනීගෙ මල්ලි වෙන රොනීට කියන්න ඕන කියල ජොනී කියනව. ඉතිං ලොරිටා ගිහින් රොනීව හම්බ වෙනව. කතාවෙ සුන්දරම ටික පටන්ගන්නෙ එතනින්...
මේ චිත්‍රපටිය පවුලේ චිත්‍රපටියක් වගේ එකක්. අන්තිමේ හැමෝම එක තැනකට ඇවිත් සන්තෝසෙන් තමයි චිත්‍රපටිය ඉවර කරන්නේ. අධ්‍යක්ෂක Norman Jewison කියන මහත්තය දරුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරයෙක් කියල තමයි දැනගන්න ලැබුණේ. ඒ ගැන හොයද්දියි එතුම හදපු චිත්‍රපටි කීපයක්ම මම හොඳින් රස විඳල තියෙනව නේද කියල දැනගත්තෙ. ඒව ගැනත් හිමිහිට ලියමු. අදට ඔන්න Moonstruck.
Subscribe to:
Posts (Atom)