Wednesday, August 10, 2011

Glory (1989) | Matthew Broderick, Denzel Washington, Morgan Freeman, Cary Elwes


ඊයෙ කියපු John Q චිත්‍රපටියටත් ඒකෙ ප්‍රධාන නළු Denzel Washington මහත්තයටත් ගොඩක් දෙනා කැමති බව පෙණුනා. අද කියන්න යන Glory චිත්‍රපටියෙත් Denzel Washington තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම සහය නළුවට හිමි ඇකඩමි සම්මානය ලැබුණා.

මේ චිත්‍රපටිය ඩෙන්සිල් ගැන හොයද්දි මාට්ටු වුණ එකක්. කාලයක්ම යන්තරේ ටොරන්ට් ගොනුවෙ තිබුණ එකක්. බැකප් කරන්න කලින් ලියන්න ඕන කියල හිතුණ. චිත්‍රපටියට පසුබිම් වෙන්නෙ 1860 ගණන් වලදි පැවතුණු ඇමරිකානු සිවිල් යුද්ධයයි. ඇමරිකානු සිවිල් යුද්ධයෙදි වෙලා තියෙන්නෙ ඇමරිකාවම දෙකට බෙදිල ගහගැනිල්ලක්. එක් පිරිසක් ඒ වකවානුවෙදි තිබුණ වහල් නීති අවලංගු කරපු පිරිසක්. අනිත් කණ්ඩායම වහල්භාවය අවශ්‍යයි කියන මතය අනුව හිටපු පිරිසක්. කොහොම නමුත් වහල්බව නැති කරන්න ක්‍රියාත්මක වුණ පාර්ශවයේ ප්‍රධානියා වුණේ පසුව ඇමරිකාවෙම ජනාධිපති වුණ ඒබ්‍රහම් ලින්කන් මහත්තය.

ඒ අතුරු කතාවක්... චිත්‍රපටියෙ තියෙන්නෙ මේ ලින්කන්ගෙ පාර්ශවයට අයිති හමුදා භට කණ්ඩායමක කතාවක් ගැනයි. ඒ වකවානුවෙ කළු ජාතිකයන් හමුදා සේවයේ හිටියෙ කම්කරුවො විධියට විතරයි. එයාලට තිබුණෙ ඔය තුවාල කාරයො ගේන, මිය ගිය අය එකතු කරන, වලවල් හාරන වගේ වැඩ. ඒත් මැසචුසෙට් ආණ්ඩුකාරවරය විසින් කළු හමුදා භටයන්ගෙන් සමන්විත පලවෙනි රෙජිමේන්තුව වෙන 54th Massachusetts Volunteer Infantry පිහිටුවන්න පියවර ගන්නවා. ඒකෙ අණ දෙන නිලධාරිය විධියට පත් කරන්නෙ Colonel Robert Gould Shaw කියන තරුණයව. ඔහු තමන්ගෙ පියාගෙ බලය නිසා තැනකට ආපු කෙනෙක් මිස යුධ උපායන් පිළිබඳ ඒ තරම් අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් සංවේදී හදවතක් හිමි පුද්ගලයෙක්. චිත්‍රපටිය පුරා ඔහු තමන්ගෙ කළු හමුදා භටයන් පුහුණු කරවන ආකාරයත්, ඔවුන්ගෙන් පවා ඉගෙනගනිමින් ‍හොඳ නායකයෙක් වෙන විධියත් තමයි තියෙන්නෙ. චිත්‍රපටිය හැදිල තියෙන්නෙත් කර්නල් ෂෝ විසින් තමන්ගෙ මවට සහ පියාට ලියපු ලිපි ආශ්‍රයෙන් කියල තමයි කියවන්න ලැබුණෙ.

Morgan Freeman මේ චිත්‍රපටියෙ රඟපාන්නෙ වැඩිහිටි දැනුම් තේරුම් සහිත සොල්දාදුවෙක් විධියට. Denzel Washington නම් නාහෙට අහන්නෙ නැති විප්ලවවාදී හමුදා භටයෙක්. Matthew Broderick ඉන්න ගොඩක්ම ජනප්‍රිය චිත්‍රපටි නැති වුණාට ඔහු මේ චරිතය සෑහෙන්න හොඳින් රඟපානව කියල හිතෙනවා. මෝගන් සහ ඩෙන්සිල් දෙන්නගෙ රඟපෑම් වුණත් ඉහලින්ම තියෙනව.

මේ චිත්‍රපටියට තේමාව වෙන්නෙ යුද්ධයට වඩා ආත්ම ගරුත්වය කියන එකයි. ඒ වකවානුවෙදි කල්ලන්ට, තමන්ගෙ හම කළු වීම නිසාම තිබුණ පහත් තැන නැති කරමින් ඔවුන් තමන්ගෙ ගෞරවය දිනාගැනීම තමයි චිත්‍රපටිය තුලින් අන්තිමට පෙන්වන්නෙ.

සෑහෙන්න තරමකට පැරණි යුධ චිත්‍රපටියක්. සංවේදී තැන් බොහොමයක් එක්ක විශිෂ්ඨ රඟපෑම් කීපයක්ම තියෙන චිත්‍රපටියක්.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...