Monday, July 11, 2011

Alaipayuthey (2000) - அலைபாயுதே


අද කියන්න යන Alaipayuthey චිත්‍රපටිය මම දැනට බලල තියෙන හොඳම දෙමළ චිත්‍රපටි වලිනුත් හොඳම එකක්. සමහර විට හොඳම එකද කියලත් ෂුවර් නෑ. මොකද දෙමළ චිත්‍රපටි වලින් දැනට මම වැඩිම වාර ගණනක් බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය. ඒ තරමට මේ චිත්‍රපටිය සුපිරි එකක්. ඒ කියන්නෙ චිත්‍රපටියක් හොඳයි කියල කියන්න ගන්න නිර්නායක වලින් සෑහෙන්න ප්‍රමාණයකින් මේ චිත්‍රපටිය උඩින්ම සමත් වෙනව.

කාර්තික් කියන්නෙ චෙන්නායි (මධුරාසිය) නගරයේ ජීවත්වෙන පරිගණක ඉන්ජිනේරුවෙක්. ඔහු තමන්ගෙ මිතුරන් කීප දෙනෙක් එක්ක එකතු වෙලා තමන්ගෙම මෘදුකාංග ආයතනයක් පටන්ගන්න සැලසුම් කරමිනුයි ඉන්නෙ. ඔහු සහභාගි වෙන විවාහ මංගල්‍යයකදි තමයි මුලින්ම ඔහුට ශක්තිව දකින්න ලැබෙන්නෙ. ශක්ති කියන්නෙ වෛද්‍යවරියක් වීමට ඉගෙනගනිමින් ඉන්න තරුණියක්. ඊට පස්සෙ මේ දෙන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිසා වලට ගමන් කරන දුම්රිය දෙකකදි ආයෙත් එකිනෙකාව දකිනව. මේක කීප වතාවක්ම සිද්ධ වෙනව. දෙන්නටම ආදරේ ඇතිවෙන්නෙ ඒ බැල්මෙදි. ඊට පස්සෙ සුපුරුදු දෙමළ චිත්‍රපටි කතාවට ආයෙත් ඇවිත් මේ දෙන්නා ගෙවල් වලට හොරෙන් විවාහ වෙනව. ඒත් චිත්‍රපටිය එතනින් ඉවර වෙන්නෙ නෑ. දුක සතුට එක්ක ජීවිතේ ගැන හිතන්න සිද්ධ කරවන බොහොම සංවේදී සිදුවීම් පෙලක් තමයි ඊට පස්සෙත් දිග ඇදෙන්නේ.

චිත්‍රපටිය ඒකෙ මුල් හරියෙදි කියවෙන්නෙ අතීතාවර්ජනයක් විධියට. පස්සෙ කතාව වර්තමානයට ඇවිත් ආයෙත් සාමාන්‍ය විධියට ගමන් කරනවා. ඒ ඉදිරිපත් කිරීම නියමයි.

චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය දැවැන්ත දෙමළ සහ හින්දි චිත්‍රපටි ගණනාවක්ම හදපු මනි රත්නම් මහත්තයගෙ. සංගීතය ඒ. ආර්. රහමන්ගෙන්. ඒ නිසාම මේකෙ සංගීතයත් සින්දු ටිකත් සුපිරිම තමයි. ප්‍රධාන රංගනය දැනටත් ඉන්දියාවෙ සුපිරි නළුවෙන් වෙන මාධවන්ගෙන්. ශක්ති විධියට රඟපාන ශාලිනී නම් පුංචි කාලෙ ඉඳන් රඟපෑවට ඇය රඟපාපු අන්තිම චිත්‍රපටිය මේක කියලයි කියන්නෙ. ඇය විවාහයෙන් පස්සෙ රඟපෑමෙන් ඉවත් වුනාලු.. කොහොම වුණත් මේ චිත්‍රපටියෙදි ඇගේ රංගනය නියමයි.

මේ කතාව තියෙන හින්දි චිත්‍රපටිය සාතියා කියන නමින් හැදුනට ඒක බලන්න මට ඕන වුණේ නෑ.... අනික ඒකෙ ඉන්න අපි ගොඩක් දන්න කියන නළු නිලියො එක්ක දෙමළ චිත්‍රපටියෙන් දැණෙන හැඟීම නම් කොහොමත් ගන්න බෑ වගේ.

මේක මට මුලින් ලැබුණෙ අවුරුදු 6කට විතර කලින් මොහාන් හෙට්ටිආරච්චි මහත්තයගෙන් VCD තැටි දෙකක් විධියට. ඒක කොපි කරගෙන තමයි බැළුවෙ. මෑතකදි ආයෙත් බැලුවම පෙණුනා ඒකෙ පාටවල් හොඳටම වෙනස් වෙලා කියල. ඩිජිටල් මාධ්‍යයෙදිත් එහෙම අවුලක් වෙන්න හැකියාවත් තියෙනවා. කොහොම හරි ඒකෙන් වුණේ මම ආයෙත් චිත්‍රපටිය බාගත්තු එක. සතියකට වඩා ඉවසන්න නම් වුණා.



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Monday, July 4, 2011

Forrest Gump (1994)


Forrest Gump චිත්‍රපටිය ගැන පටන්ගන්න තැනක් හෝ ඉවර කරන්න තැනක් මට හිතාගන්න බෑ. ඒක හරියට හැඟීමක් වගේ විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් මම බලපු, විඳපු, ඇඟටම ජීර්ණය වුණ හොඳම චිත්‍රපටියක් ගැන නොකිය කොහොමද?

Forrest Gump කියන්නෙ ඇලබාමාවෙ ඉපදුණු, ළමා කාලයේ පෝලියෝ රෝගයෙන් පෙළුණ පුද්ගලයෙක්. ඔහු බොහොම නිදහසේ හිතපු කෙනෙක්. ඇත්තෙන්ම ඔහු වැඩිය හිතුවෙම නෑ. නමුත් කල යුතු දේ නොකල යුතු දේ පිළිබඳව ඔහුට තිබුණෙ ඉවක්. ඔහුගේ මොළයේ අඩු ක්‍රියාකාරීත්වයක් තියෙන බව පෙණුනත් මම ඒක එහෙම දකින්න කැමති නෑ. ඇත්තටම වැඩිය නොහිත ඉන්න පුළුවන් වුණානම් අපට තියෙන ගොඩක් ප්‍රශ්ණ වලින් ගැලවිල ඔහු වගේ නිදහසේ ඉන්න තිබුණ අපටත්.

තරුණ කාලෙදි ‍ෆොරස්ට් බැ‍ඳෙනව යුද්දෙට. යුද්ධය අතරෙ ඔහුට පසු කාලෙක තමන්ගෙ හොඳ මිතුරෙක් වෙන ලුතිනන් ඩෑන් හමුවෙනව. ඒ එක්කම බුබ්බා කියන හොඳ මිතුරා ඔහුට යුද්ධය නිසා අහිමි වෙනව. ඒත් බුබ්බාගෙ අදහසක් වුණ, යුද්ධයෙන් පස්සෙ ඉස්සො අල්ලන ව්‍යාපාරයක් අරඹන එක ෆොරස්ට් ක්‍රියාත්මක කරනව. ඒකෙදි ඔහුට සහය වෙන්නෙ යුද්ධයෙන් පාද දෙකම අහිමි වුණ ලුතිනන්වරයායි.

ඒ අතරෙ පුංචි කාලෙ ඉඳන්ම ඔහුගෙ හොඳම සහ එකම මිතුරිය වුණ ජෙනී ඔහුගේ ජීවිතය එක්ක වරින් වර සෙල්ලම් කරනව.

නමුත් ෆොරස්ට් ඒ කිසි දේකින් සැලෙන මනුස්සයෙක් නෙවෙයි. ඔහු නොතැවී අවශ්‍ය දේ කරමින් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්නව. ඔහු පිහාටුවක් වගේ සැහැල්ලු පුද්ලගයෙක්. චිත්‍රපටියෙ මුලදි සහ අගදි පෙන්වන පිහාටුව නිකංම නිකං පිහාටුවක් නෙවෙයි. ෆොරස්ට්ගෙ ජීවිතේ සැහැල්ලුවයි ඒ නිරූපණය කරන්න‍නේ.

චිත්‍රපටියෙ රඟපාන්නෙ හොලිවුඩයේ යෝධයෙක් වෙන Tom Hanks. ඔහු ගැන නොදන්න, ඔහු රඟපාපු චිත්‍රපටියක් නොබලපු කෙනෙක් ඉන්න බෑනේ... ඔහුට මේ චරිතය වෙනුවෙන් ඇකඩමි සම්මානය ලැබුණ. ඒ එක්කම හොඳම සහය නළුව විධියට Gary Sinise නිර්දේශ වුණා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් හොලිවුඩයේ දැනටත් රජ වැඩ කරන Robert Zemeckis මහත්තයා. එයාගෙ කැරැට්ටුවත් බලාකියාගත්තනම් හොඳයි.

චිත්‍රපටි පිළිබඳව සුළු හෝ ඇල්මක් තියෙන ඕනෙම කෙනෙක්ට Forrest Gump චිත්‍රපටිය බලන්න කියල නිර්දේශ කරන්න පුළුවන්. ඇකඩමි සම්මාන 6ක්, වෙනත් සම්මාන 32ක් සහ නිර්දේශ වීම් 39ක් ලබල තියෙන්නෙ ඒ වටිනාකම් එක්කයි. ඒ එක්කම මේක මේ වෙනකොට ලෝකයේ හොඳම චිත්‍රපටි ලැයිස්තුවේ 32වෙනි තැනයි ඉන්නේ. පොතේගුරා මේ චිත්‍රපටිය ගැන 2009 මැයි මාසෙදි බයිස්කෝප් එකට ලියද්දි Forrest Gump තිබුණෙ ඒ ලැයිස්තුවෙ 42 වෙනි තැන. :D

මේ චිත්‍රපටිය ගැන චමිත සහෝ ලියල තියෙන ‍ඒවත් කියවන්න.



මේ තියෙන්නෙ Forrest Gump තවත් කෙනෙක්ගෙ ඇසින් එක මිනිත්තුවකින්...



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Saturday, July 2, 2011

Pi (1998) - π


Pi කියන්නෙත් මම බලපු අමුතුම චිත්‍රපටි අතරෙ එකක්. ඒ වගේම හොඳට රස විඳපු එකක්. මේක මට හමු වුණේ ඔයාල බොහොම දෙනෙක් දන්න Ravenගෙන්. මාස කීපයකට සැරයක් අපි දෙන්න අතර තියෙන චිත්‍රපටි හුවමාරු කරගැනීමේ නොනිල සම්මුතිය යටතේ මට ලැබුණු එකක් තමයි Pi.

Pi ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ. හයේ හතේ පන්ති වල වෘත්තය ගැන පාඩමේදි හම්බ වෙලා ඊට පස්සෙ සෑහෙන්න කාලයක් යනකල් අපිත් එක්ක ඉන්න ගණිතමය නියතයකට කියන නමක්නෙ ඔය Pi කියන්නේ. සාමාන්‍යයෙන් ගණන් හදද්දි ඔය Pi = 22/7 කියල ගත්තට ඇත්තටම Pi නියතය කියන්නෙ කෙලවරක් නැතිව අනන්තයටම බෙදීගෙන යන සහ නැවත නැවත ලියවෙන සමාන කොටස් නැති දශමස්ථාන ගණනාවක් සහිත නියතයක්. ඇත්තටම ඒක මෙතනට වැඩක් නෑ. නමුත් මේක ගැන විශේෂයෙන් කිව්වෙ මේ චිත්‍රපටියෙ නිතර පෙන්වන සර්පිලාකාර සංකේත රූපයක් එක්ක මේ π අගය ගැලපෙනවය කියල හිතෙන නිසා.

චිත්‍රපටියෙ ඉන්නෙ මැක්ස් කියල තරුණ ගණිතඥයෙක්. ඔහු තමන්ගෙ ගේ ඇතුලටම වෙලා ඉන්න කැමති සමාජය වැඩිය ඇසුරු කරන්න මනාප නැති පුද්ගලයෙක්. අල්ලපු ගෙදර ඉන්න ගෑණු ළමයෙක් මෙයාට පොඩ්ඩක් කැමතියි වගේ ඉන්න නිසා එයා එක්ක විතරක් මෙයා කතා බහ කරනව. නමුත් මෙයා වැඩිපුරම කරන්නෙ තමන්ගෙ පරිගණකය එක්ක මුළු විශ්වයේම දේවල් නිරෑපණය කරන්න පුළුවන් තනි සමීකරණයක් හොයන එකයි. ස්වභාවධර්මයේ භාෂාව ගණිතය බවත්, ඕනම දෙයක් සංඛ්‍යා වලින් නිරූපණය කරන්න පුළුවන් බවත්, එහෙම නිරූපණය කරද්දි විවිධ මෝස්තර හැදෙන බවත් තමයි මැක්ස් විශ්වාස කරන්නෙ. එයා උත්සාහ කරන්නෙ ඒ මෝස්තර අධ්‍යනයෙන් තමන්ගෙ අරමුණ කරා යන්නයි.

අවසානයේ ඔහුට හමුවෙනව ඉලක්කම් 216ක අංකයක්. මේක ඔහු යොදාගන්නෙ කොටස් වෙළඳපොල හදාරන්න. එහිදි අහම්බෙන් ඔහුට කොටස් වෙළඳපොලේ උච්ඡාවචනයන් එක්ක තමන් හොයාගත්තු සංඛ්‍යාවේ සමානකම තේරෙණව.

ඔහුගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් වෙන සිදුවීම් පෙල ඇරඹෙන්නෙ එතන ඉඳන්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ 2010 හොඳම අධ්‍යක්ෂණයට Black Swan වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වුණ Darren Aronofsky මහත්තයා. එතුමා අධ්‍යක්ෂණය කරපු තවත් බොහොම අපූරු චිත්‍රපටි කීපයක් ගැන ලියන්න තියෙනවා පසුවට. මේ චිත්‍රපටිය මම බැලුවෙ අවුරුද්දකටත් කලින්. ඒ නිසා කතාවේ ගලායාම හරියටම මතකත් නෑ. කියපු ටික ඇතියි කියල හිතෙනව.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, July 1, 2011

Seven Samurai (1954) - 七人の侍 Shichinin no Samurai


අද විස්තර දෙන්න යන්නෙ ලෝක පූජිත සිනමා කෘතියක් වෙන Seven Samurai චිත්‍රපටිය ගැනයි. මේක ලෝකයේ නිපදවුණු හොඳම චිත්‍රපටියක් විධියටයි සැලකෙන්නේ. ‍මේක ගැන ඉස්සර ගාමිණි වේරගම මහත්තයා රූපවාහිනියෙ සිනමා විචාර කරද්දි හොඳට කිව්වා. ඒ විචාර අනුව මම හිතාගෙන හිටියෙ මේක මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති කම්මැලි හිතෙන චිත්‍රපටියක් කියලයි. නමුත් පසුසෙ දවසක මේක බලන්න ලැබුණමයි මට තේරුණේ 1954 කරපු චිත්‍රපටියක් විධියට මේක කොයි කරම් ඉදිරියෙන් තියෙන චිත්‍රපටියක්ද කියලා. ඒ එක්කම පස්සෙ පස්සෙ චිත්‍රපටිවල සිනමාත්මක දේවල් එක්ක චිත්‍රපටි දැණෙන්න ගනිද්දි මේ චිත්‍රපටිය මට හොඳටම අල්ලල ගියා.

කතාවෙ තියෙන්නෙ ජපානයේ තියෙන පුංචි ගමක කතාවක්. මේ ගමට නිතරම මංකොල්ලකාරයො කණ්ඩායමක් කරදර කරනවා. ගමේ අස්වැන්න නෙලන කාලෙදි එහෙම මේ මංකොල්ලකාරයො ඇවිත් අස්වැන්න අරන් යනවා. මේකට විසඳුමක් විධියට ගමේ ඉන්න එක සමුරායිවරයෙක් යෝජනාවක් ගේනවා නගරයට ගිහින් සමුරායිවරු කීපදෙනෙක් එක්කරගෙන එමු කියලා. දන්නවනෙ සමුරායිවරු කියන්නෙ සටන් ශිල්ප ප්‍රගුණ කරපු අය කියලා. ඉතින් මේ සමුරායිවරයා නගරයට ගිහින් එක එක දේවල් ඉෂ්ඨ කරල දෙන පොරොන්දු පිට සමුරායිවරු 6 දෙනෙක් ගමට එක්කරගෙන එනවා. මේ සමුරායිවරු එක එක වර්ගයේ අය. වෙනස් වෙනස් චරිත ලක්ෂණ තියෙන කට්ටිය. ඉතිං මේ අය ගමේ මිනිස්සුන්ගෙන් යැපෙමින් ගමේ අයට සතුරන්ට මුහුණ දෙන විධිය කියා දෙන කතාව තමයි චිත්‍රපටියෙ තියෙන්නේ...

ගමේ කෙල්ලෙක්ට පිස්සු වැටෙන සමුරායිවරායක්, නීතිරීති තදින් ක්‍රියාකරවන්න ඕනකම තියෙන සමුරායිවරයෙක් වගේම නාහෙට නාහන පිස්සු සමුරායිවරයෙක් එක්ක මේ චිත්‍රපටිය එක අතකින් කොමඩියක්. මොකද ඕන තරම් තියෙනවා හිනාවෙන්න කෑලි.. ඒ එක්කම ඒ දවස්වල ජපානයේ ගමක තත්ත්වය සෑහෙන්න හොඳින් නිරූපණය වෙනව මේකෙන්.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

Related Posts Plugin for WordPress, Blogger...