Monday, July 4, 2011

Forrest Gump (1994)


Forrest Gump චිත්‍රපටිය ගැන පටන්ගන්න තැනක් හෝ ඉවර කරන්න තැනක් මට හිතාගන්න බෑ. ඒක හරියට හැඟීමක් වගේ විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් මම බලපු, විඳපු, ඇඟටම ජීර්ණය වුණ හොඳම චිත්‍රපටියක් ගැන නොකිය කොහොමද?

Forrest Gump කියන්නෙ ඇලබාමාවෙ ඉපදුණු, ළමා කාලයේ පෝලියෝ රෝගයෙන් පෙළුණ පුද්ගලයෙක්. ඔහු බොහොම නිදහසේ හිතපු කෙනෙක්. ඇත්තෙන්ම ඔහු වැඩිය හිතුවෙම නෑ. නමුත් කල යුතු දේ නොකල යුතු දේ පිළිබඳව ඔහුට තිබුණෙ ඉවක්. ඔහුගේ මොළයේ අඩු ක්‍රියාකාරීත්වයක් තියෙන බව පෙණුනත් මම ඒක එහෙම දකින්න කැමති නෑ. ඇත්තටම වැඩිය නොහිත ඉන්න පුළුවන් වුණානම් අපට තියෙන ගොඩක් ප්‍රශ්ණ වලින් ගැලවිල ඔහු වගේ නිදහසේ ඉන්න තිබුණ අපටත්.

තරුණ කාලෙදි ‍ෆොරස්ට් බැ‍ඳෙනව යුද්දෙට. යුද්ධය අතරෙ ඔහුට පසු කාලෙක තමන්ගෙ හොඳ මිතුරෙක් වෙන ලුතිනන් ඩෑන් හමුවෙනව. ඒ එක්කම බුබ්බා කියන හොඳ මිතුරා ඔහුට යුද්ධය නිසා අහිමි වෙනව. ඒත් බුබ්බාගෙ අදහසක් වුණ, යුද්ධයෙන් පස්සෙ ඉස්සො අල්ලන ව්‍යාපාරයක් අරඹන එක ෆොරස්ට් ක්‍රියාත්මක කරනව. ඒකෙදි ඔහුට සහය වෙන්නෙ යුද්ධයෙන් පාද දෙකම අහිමි වුණ ලුතිනන්වරයායි.

ඒ අතරෙ පුංචි කාලෙ ඉඳන්ම ඔහුගෙ හොඳම සහ එකම මිතුරිය වුණ ජෙනී ඔහුගේ ජීවිතය එක්ක වරින් වර සෙල්ලම් කරනව.

නමුත් ෆොරස්ට් ඒ කිසි දේකින් සැලෙන මනුස්සයෙක් නෙවෙයි. ඔහු නොතැවී අවශ්‍ය දේ කරමින් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්නව. ඔහු පිහාටුවක් වගේ සැහැල්ලු පුද්ලගයෙක්. චිත්‍රපටියෙ මුලදි සහ අගදි පෙන්වන පිහාටුව නිකංම නිකං පිහාටුවක් නෙවෙයි. ෆොරස්ට්ගෙ ජීවිතේ සැහැල්ලුවයි ඒ නිරූපණය කරන්න‍නේ.

චිත්‍රපටියෙ රඟපාන්නෙ හොලිවුඩයේ යෝධයෙක් වෙන Tom Hanks. ඔහු ගැන නොදන්න, ඔහු රඟපාපු චිත්‍රපටියක් නොබලපු කෙනෙක් ඉන්න බෑනේ... ඔහුට මේ චරිතය වෙනුවෙන් ඇකඩමි සම්මානය ලැබුණ. ඒ එක්කම හොඳම සහය නළුව විධියට Gary Sinise නිර්දේශ වුණා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් හොලිවුඩයේ දැනටත් රජ වැඩ කරන Robert Zemeckis මහත්තයා. එයාගෙ කැරැට්ටුවත් බලාකියාගත්තනම් හොඳයි.

චිත්‍රපටි පිළිබඳව සුළු හෝ ඇල්මක් තියෙන ඕනෙම කෙනෙක්ට Forrest Gump චිත්‍රපටිය බලන්න කියල නිර්දේශ කරන්න පුළුවන්. ඇකඩමි සම්මාන 6ක්, වෙනත් සම්මාන 32ක් සහ නිර්දේශ වීම් 39ක් ලබල තියෙන්නෙ ඒ වටිනාකම් එක්කයි. ඒ එක්කම මේක මේ වෙනකොට ලෝකයේ හොඳම චිත්‍රපටි ලැයිස්තුවේ 32වෙනි තැනයි ඉන්නේ. පොතේගුරා මේ චිත්‍රපටිය ගැන 2009 මැයි මාසෙදි බයිස්කෝප් එකට ලියද්දි Forrest Gump තිබුණෙ ඒ ලැයිස්තුවෙ 42 වෙනි තැන. :D

මේ චිත්‍රපටිය ගැන චමිත සහෝ ලියල තියෙන ‍ඒවත් කියවන්න.



මේ තියෙන්නෙ Forrest Gump තවත් කෙනෙක්ගෙ ඇසින් එක මිනිත්තුවකින්...



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

3 comments:

  1. මාත් බලලා තියෙන ෆිල්ම්වලින් මතකයේ රැඳිල තියෙන විශිෂ්ට නිර්මාණයක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...