Saturday, July 2, 2011

Pi (1998) - π


Pi කියන්නෙත් මම බලපු අමුතුම චිත්‍රපටි අතරෙ එකක්. ඒ වගේම හොඳට රස විඳපු එකක්. මේක මට හමු වුණේ ඔයාල බොහොම දෙනෙක් දන්න Ravenගෙන්. මාස කීපයකට සැරයක් අපි දෙන්න අතර තියෙන චිත්‍රපටි හුවමාරු කරගැනීමේ නොනිල සම්මුතිය යටතේ මට ලැබුණු එකක් තමයි Pi.

Pi ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ. හයේ හතේ පන්ති වල වෘත්තය ගැන පාඩමේදි හම්බ වෙලා ඊට පස්සෙ සෑහෙන්න කාලයක් යනකල් අපිත් එක්ක ඉන්න ගණිතමය නියතයකට කියන නමක්නෙ ඔය Pi කියන්නේ. සාමාන්‍යයෙන් ගණන් හදද්දි ඔය Pi = 22/7 කියල ගත්තට ඇත්තටම Pi නියතය කියන්නෙ කෙලවරක් නැතිව අනන්තයටම බෙදීගෙන යන සහ නැවත නැවත ලියවෙන සමාන කොටස් නැති දශමස්ථාන ගණනාවක් සහිත නියතයක්. ඇත්තටම ඒක මෙතනට වැඩක් නෑ. නමුත් මේක ගැන විශේෂයෙන් කිව්වෙ මේ චිත්‍රපටියෙ නිතර පෙන්වන සර්පිලාකාර සංකේත රූපයක් එක්ක මේ π අගය ගැලපෙනවය කියල හිතෙන නිසා.

චිත්‍රපටියෙ ඉන්නෙ මැක්ස් කියල තරුණ ගණිතඥයෙක්. ඔහු තමන්ගෙ ගේ ඇතුලටම වෙලා ඉන්න කැමති සමාජය වැඩිය ඇසුරු කරන්න මනාප නැති පුද්ගලයෙක්. අල්ලපු ගෙදර ඉන්න ගෑණු ළමයෙක් මෙයාට පොඩ්ඩක් කැමතියි වගේ ඉන්න නිසා එයා එක්ක විතරක් මෙයා කතා බහ කරනව. නමුත් මෙයා වැඩිපුරම කරන්නෙ තමන්ගෙ පරිගණකය එක්ක මුළු විශ්වයේම දේවල් නිරෑපණය කරන්න පුළුවන් තනි සමීකරණයක් හොයන එකයි. ස්වභාවධර්මයේ භාෂාව ගණිතය බවත්, ඕනම දෙයක් සංඛ්‍යා වලින් නිරූපණය කරන්න පුළුවන් බවත්, එහෙම නිරූපණය කරද්දි විවිධ මෝස්තර හැදෙන බවත් තමයි මැක්ස් විශ්වාස කරන්නෙ. එයා උත්සාහ කරන්නෙ ඒ මෝස්තර අධ්‍යනයෙන් තමන්ගෙ අරමුණ කරා යන්නයි.

අවසානයේ ඔහුට හමුවෙනව ඉලක්කම් 216ක අංකයක්. මේක ඔහු යොදාගන්නෙ කොටස් වෙළඳපොල හදාරන්න. එහිදි අහම්බෙන් ඔහුට කොටස් වෙළඳපොලේ උච්ඡාවචනයන් එක්ක තමන් හොයාගත්තු සංඛ්‍යාවේ සමානකම තේරෙණව.

ඔහුගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් වෙන සිදුවීම් පෙල ඇරඹෙන්නෙ එතන ඉඳන්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ 2010 හොඳම අධ්‍යක්ෂණයට Black Swan වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වුණ Darren Aronofsky මහත්තයා. එතුමා අධ්‍යක්ෂණය කරපු තවත් බොහොම අපූරු චිත්‍රපටි කීපයක් ගැන ලියන්න තියෙනවා පසුවට. මේ චිත්‍රපටිය මම බැලුවෙ අවුරුද්දකටත් කලින්. ඒ නිසා කතාවේ ගලායාම හරියටම මතකත් නෑ. කියපු ටික ඇතියි කියල හිතෙනව.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

2 comments:

  1. Darren Aronofsky ගේ ඉතිරි ෆිල්ම්ස් ටිකත් අනිවා දෙන්න. මේක ගැන දැනුවත් කළාටත් තෑන්ක්ස් ඔන්න.

    ReplyDelete
  2. උදාර දිගටම මේකට කමෙන්ට් දානවා... ඒ හැම එකකටම උත්තර බැන්දෙ නැතිවට තරහ වෙන්න එපා... :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...