Monday, September 12, 2011

Monsoon Wedding (2001) | Naseeruddin Shah, Lillete Dubey, Shefali Shetty


මේ දවස් කීපයෙදිම චිත්‍රපටි බැලිල්ල විතරක්ම කරපු නිසා ලියන්න තිබුණ කම්මැලිකම් එහෙම්මම තිබුණා. :P නමුත් Monsoon Wedding චිත්‍රපටිය ගැන ලිව්වොත් හොඳයි කියල හිතුණා.

මේක හින්දි සහ ඉංග්‍රීසි කලවමින් නිපැයවුණ හොඳම චිත්‍රපටියක්. මෑතකදි බලපු මේ වර්ගයෙ චිත්‍රපටි වලින් හොඳට වැදුණ එකක්. මේක හම්බ වුණේ Naseeruddin Shah මහත්තය රඟපාපු එව්ව ගැන හොයන්න ගිහින්. බාගෙන සෑහෙන කාලයක් තිබුණා.

චිත්‍රපටියෙ තියෙන්නෙ දවස් කීපයක කතාවක්. ඉන්දියානු ඉහල මධ්‍යම පන්තියෙ පවුලක දියණියකගෙ විවාහ මංගල්‍යය පවත්වන්න සූදානම් වීමෙන් තමයි කතාව පටන්ගන්නෙ. ලලිත් වර්මා කියන පවුලේ පියා, පවුලෙ අනිත් අය සහ ඥාතියො වටකරගෙන සියල්ල සැලසුම් වෙනවා. නමුත් මේ මනමාලි වෙන්න ඉන්න තරුණියට වෙනත් පෙම්වතෙක් ඉන්නවා. මංගල දිනයට දින දෙකකට කලින් තරුණිය ගෙදරින් පැනල යන්නෙ පෙම්වතාත් එක්ක. නමුත් අනපේක්ෂිත විධියට ඇයට තමන්ගෙ පෙම්වතා ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඇය පහුවදාම තමන්ගෙ යෝජිත මනමාලයට තමන්ගෙ කතාව කියන්නෙ ඇයට ඔහුව රවට්ටන්න ඕන නැති නිසා.

ඔය අතරෙ ඉන්නව පී.කේ. දුබේ කියන මේ මංගල්‍යය සංවිධානය කරන සංවිධායකයා. ඒ කිව්වෙ සිංහලෙන් event manager කෙනෙක්. ඔහු අවුරුදු 30ක පමණ අවිවාහක දුප්පත් තරුණයෙක්. තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහෙන් ඉන්න කෙනෙක්. ඔහුට මේ මංගල්‍යය පැවැත්වෙන නිවසේ මෙහෙකාරිය විධියට ඉන්න ඇලිස් කියන තරුණියට හිත වැටෙනව. චිත්‍රපටිය පුරාවටම ඔහුත් ඇලිසුත් අතර පලහිලව්ව ලියලන විධියත් හරිම සංවේදියි.

ඇත්තටම කතාව ඇතුලෙ එකිනෙකට සම්බන්ධ කතා කීපයක්ම තියෙනව, නර්තනයට කැමති පිරිමි ළමයෙක්, පවුලෙ ඇතුලෙම තවත් තරුණ පෙම් යුවලක්, බාල අපරාධකාර ඥාතියෙක්, වැන්දඹුවක් වුණ තවත් දුවක් වගේ චරිත ගණනාවක කතාව මේ චිත්‍රපටියෙ තියෙනවා. අන්තිමේ හැමෝම එකතු වෙලා විවාහය ජයටම සමරන අතරෙ ඉවෙන්ට් මැනේජර් දුබේ සහ ඇලිස්ගෙ කතාවෙත් ලස්සන පිටුවක් ලියවෙනවා.

චිත්‍රපටියෙ රඟපාන සියළු දෙනා ස්වභාවික රංගනයක ඉන්නවා. නස්රුදීන් ෂා ගැන කියන්න උවමනා නෑනේ. නමුත් මට හොඳටම හිතට වැදුණෙ පී.කේ. දුබේ ගෙ චරිතය. Vijay Raaz ඒතරම් ජනප්‍රිය නළුවෙක් නොවුණට (ඇත්තටම මේක හැර ඔහුගේ රඟපෑම් මම දැකල නෑ) මේ චිත්‍රපටියෙ ඔහුගෙ රඟපෑම් දැණෙන සුළුයි. ඒ වගේම ගුවන් තොටුපලක එක්ස් කිරණ යන්ත්‍රයක් නිසා චිත්‍රපටියෙ සැලකිය යුතු කොටසක් විනාශ වෙලා ආයෙත් රූගත කරන්න වුණා කියලත් කියවන්න ලැබුණා. මොනව වුණත් අධ්‍යක්ෂිකා Mira Nair මහත්මියගෙ තවත් හොඳ චිත්‍රපටියක්.

ඉතිං කැමත්තක් තියේ නම් සුරූපී නිලියන් සහ කඩවසම් නළුවන් ඉන්න හින්දි සහ ඉංග්‍රීසි කලවමෙන් යුක්ත හොඳ චිත්‍රපටියක් බලන්න.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න
Related Posts Plugin for WordPress, Blogger...