Thursday, June 30, 2011

The X Files: Fight the Future (1998)


මේ චිත්‍රපටිය ගැනනම් නොදන්න කෙනෙක් ඉන්න බෑ වගේම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන කෙනෙක් මේක නොබල තියෙන්නත් විධියක් නෑ. ඒත් මම බලපු හොඳම චිත්‍රපටි අතර එකක් නිසා සහ මේක වෙනම උප සංස්කෘතියක් දක්වාම පැතිරුණ මාතෘකාවක් නිසා නොබලපු කෙනෙක්ට දැනගන්න එක්කයි The X Files: Fight the Future ගැන ලියන්න හිතුවේ.

මුලින්ම මේ චිත්‍රපටිය මට හම්බවුණේ 1999දි විතර හොඳටම හම ගිය VCD තැටි දෙකක් විධියට. ඒ දවස්වල පිටසක්වල පිස්සුව තදින්ම වැලඳිල හිටපු යාළුවො 4-5 දෙනෙක් අතරෙම මේක අතින් අත ගියා. මොකද කොපි කරගන්නවත් ඒ කාලෙ අපට කොම්පියුටර් තාක්ෂණේ තිබුණෙ නෑනෙ. ඉතිං අර VCD වල හොඳට හුරු පුරුදු කොටු, සද්ද, හිරවීම් එක්ක මේක යාළුවන්ගෙ VCD player වල තමයි පට්ට ගැහුවෙ.

ඒ වුණත් තාක්ෂණේ ලැබුණ ගමන් බාගන්න උනන්දු වුණ මුල්ම චිත්‍රපටි අතරෙ එකක් තමයි මේකත්.

රූපවාහිනී සංස්ථාවට බැණ බැණ TV එකේ අපි බලපු කතාංග වල ‍පසුබිම තමයි මේ චිත්‍රපටියෙදි තේමාව වෙලා තියෙන්නේ. X-Files මාලා නාට්‍යයේ හැමවෙලේම කතා කරපු කුමන්ත්‍රණ, කළු තෙල්, වයිරස්, මුහුන්කරණය වගේ දේවල් ගැන තියෙන විචිකිච්ඡා සේරම මේ විත්‍රපටිය බැළුවොත් නැති වෙලා යනව. එක විධියකට වෙන්නෙ මේකයි කියල කියන්න බැරි තරම් කතාව සංකීර්ණ වුණත් මොල්ඩර්ට පිටසක්වලයන් පෘථිවියේ කරන වැඩ ගැන තමන්ගෙ සැකය තරවුරු කරගන්න ලැබෙන සාක්ෂිත්, ඒ අනුව ඔහු පිටසක්වල මූලස්ථානයක් වෙත යන ගමනත්, එහිදී තමන්ගෙ සගයා ස්කලීව බේරාගැනීමත් තමයි කතාවෙ සාරාංශය. ත්‍රාසය, භීතිය එක්ක ක්‍රියාදාම සෑහෙන්න හොඳට තියෙනවා.

ඉතිං ඒජන්ට් මොල්ඩර් සහ ස්කලී එක්ක අමුතුම අත්දැකීමක් ලබන්න අනිවා බලන්න...



2008 ආපු The X Files: I want to believe චිත්‍රපටිය නම් ගන්නම දෙයක් නෑ... ඒකෙ තේමාව X-Files චිත්‍රපටියකටනම් හරියන්නෙම නැති ටෙලි නාට්‍යමය එකක්. ඒත් ඕන කෙනෙක්ට ඒකත් හොයල බලන්න පුළුවන්.

මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 29, 2011

Betty Blue (1986) - 37°2 le matin


අද කියන්න යන Betty Blue කියන චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක්. මම බලල තියෙන චිත්‍රපටි වලින් සිනමාත්මක විධියට හොඳම ඒවා හැදිල තියෙන්නෙ ඇමරිකාවට වඩා යුරෝපීය රටවල. Betty Blue කියන්නෙත් ඒ අතින් සුපිරි චිත්‍රපටියක්. මිනිස් හැඟීම් සහ ජීවිතය ගැන ගැඹුරින් කෙරෙන විග්‍රහයක් තියෙන චිත්‍රපටියක්. මේක හදල තියෙන්නෙ 1986 කියල මම දැනගත්තෙත් මේ ගැන ලියන්න ඕන වුණ නිසා. මේ වෙනකල්ම මම හිතාගෙන හිටියෙ මේක 2007 වගේ කරපු එකක් කියලයි. මොකද ඒ තරමටම චිත්‍රපටිය අළුත්. අවුරුදු 3කට විතර කලින් මේක ගැන මට මුල් ඔත්තුව දුන්නෙ ඔයාල සමහරවිට දන්න කෙනෙක් වෙන මොහාන් හෙට්ටිආරච්චි මහත්තයා...

චිත්‍රපටියෙ ඉන්න Zorg කියන තරුණය කුලී නිවාස පෙළක් බලාකියාගෙන නිදහස තියෙන වෙලාවලට මොනව හරි ලියාගෙන සාමාන්‍ය විධියට ඉන්න පුද්ගලයෙක්. මෙයාගෙ ජීවිතේ එකපාරම වෙනස් වෙනවා Betty කියන අපූරු තරුණිය නිසා. මොවුන් දෙදෙනා කලින් දැනගෙන හිටියත් එකට ජීවත් වෙන්න හිතපු අය නෙවෙයි. ඒත් අනපේක්ෂිත විධියට දෙන්න එකතු වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ අපි හිතන විධියෙ ගලායාමක් නෙවෙයි. දැනට කරමින් ඉන්න රස්සාවෙන් සෝග් ඉවත් වෙන අතරෙ බෙටී අවන්හලක රැකියාවකට යනව. සෝග් ලියන දේවල් පොතක් විධියට එලිදක්වන්න ඕන කියන මතයේ ඉන්න බෙටී සෝග්ට ඒකට අවශ්‍ය කාලය අරන් දෙනවා. ඔය අතරෙ බෙටී වැඩ කරන තැන ලොක්ක මේ දෙන්නත් එක්ක හොඳට යාළු වෙනව. පසුව දවසක ඒ අවන්හල් අයිතිකාරයට අයිති පියානෝ සාප්පුවක් බලාගෙන ඉන්න මේ යුවලට සිද්ධ වෙනව.

සෝග් ලියන පොත පලකරන්න ගියාම තමයි ඊළඟට යුද්ධය ඇවිලෙන්නේ. ප්‍රකාශකය ඒක පලකරන්න බෑ කිව්වම බෙටීට තරහ යනව. ඒ තරහ කෙමෙන් කෙමෙන් මානසික ව්‍යාධියක් වෙන තැනට පත් වෙනව. සෝග් උත්සාහ කරන්නෙ තමන්ගෙ ආදරෙන් බෙටීව හොඳ කරගන්න. සෝග් සාර්ථක වෙයිද?

මේකෙ රඟපෑම් වලට අමතරව සංස්කරණය සුපිරි කියල කියන්න පුළුවන්. ප්‍රංශ චිත්‍රපටිවල තියෙන හොලිවුඩ් චිත්‍රපටි වල නැති අපූරු ගලායාම මේ චිත්‍රපටියෙ හොඳටම තියෙනව. මේක මම අන්තිමට බැළුවෙ අවුරුදු දෙකකට විතර කලින්. ආයෙත් බලන්න උවමනා වෙලයි දැන් ඉන්නේ.

චිත්‍රපටියෙදි බෙටීට තියෙන ඉක්මනින් තරහ යාමේ පිස්සුව අපට පේන්න තිබුණත් චිත්‍රපටිය පුරාම අපට හමු වෙන්නෙ එක එක මානසික දුබලතා තියෙන මිනිස්සු. ඒ කවුරුත් තමන්ට ලෙඩක් තියෙනව කියල දන්නෙ නැ හැබැයි.

ආ.... තූති බබාල බලල නරක් වුණා කියන්න එපා හොඳේ..



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, June 24, 2011

Pithamagan (2003)



Pithamagan නමෙන් කියවෙන විධියටම දෙමළ චිත්‍රපටියක්. ඉස්සර දෙමළ චිත්‍රපටි කිව්වම නිදිමත හැදුනත් පස්සෙ පස්සෙ ඒවයෙ තියෙන අමුතු ගතියට කැමති වුණ නිසා දැන් ලැබෙන ඔත්තුවකින් දෙමළ චිත්‍රපටියක් බලන්න පුළුවන් ආසාවෙන්.

මේ චිත්‍රපටිය ගැන මුලින්ම ඔත්තුව ලැබුණෙ අපේ ගුගල් බස් යාළුවන් අතර ඇතිවුණ කතාවකදි. කව්දෝ යාළුවෙක් (සමාවෙන්න නම අමතක එකට. දැන් ඒ ‍බස් එකේ කෑලිත් නෑ හොයාගන්න) මේ චිත්‍රපටිය ගැන බස් එකේ ගිය කතාවක් මැද්දෙදි කියල තිබුණ. දෙමළ නළු නිලියො ගැනවත් අධ්‍යක්ෂකල ගැනවත් මෙලෝ මළදානයක් නොදන්නව වුණාට කවුරු හරි හොඳයි කියන්නෙ හොඳ වෙන්න පුළුවන්නේ.... :-) ඉතිං බෑවා... බොහොම අඩු සීඩ් ප්‍රමාණයක් තියෙන්නේ. ඔයාල මේක බානවනම් සතියක් විතර ඉවසන්න වෙයි...

හැබැයි ඉවසල ඉවසල අමාරුවෙන් බාගත්තට පාඩුවක් නැති චිත්‍රපටියක් මේක. සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමක් චිත්‍රපටිය තාත්ත්විකයි. අර දුෂ්ඨයට උඩ විසි වෙන්න ගහල එයා බිම වැටෙන්න කලින් තව දහ දොළොස් දෙනෙක්ට ගහනව වගේ සටන් නැති වුණාට චිත්‍රපටිය නියමයි. මේකෙ තියෙන්නෙ සොහොන්පල්ලෙක්ගෙ රැකවරණය ලබන තරුණයෙක් සමාජයට ඒම සම්බන්ධ කතාවක්. සොහොන්පල්ලා මියගියාට පස්සෙ චිත්තන් කියන මේ තරුණයා ගමට ආවත් ගමේ මිනිස්සුන්ගෙන් හොඳ පිළිගැනීමක් ඔහුට ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව ඔහු හරියට කතාකරගන්නවත් දන්නෙ නැති සතෙක් වගේ හැදුණ මිනිහෙක් නිසයි. ඒ නිසාම ඔහු විවිධ අකරතැබ්බ වලට මුහණ දෙනව. ඒවයින් ඔහුව ගලවල තියාගන්න ඔහුට හම්බ වෙනව නියම යාළුවෙක් ශක්ති කියලා. ඒ එක්කම ඔහුට හමුවෙනව ගෝමදී කියල ග‍මේ තවත් කොන් වුණ තරුණියක්. මේ දෙන්නත්, ශක්තිගෙ පිස්සු යාළුවො දෙන්නත්, ශක්තිගෙ පෙම්වතිය වෙන මංජුත්, ඒ හතරපස් දෙනාගෙම දුෂ්ඨයත් එක්ක චිත්තන්ගෙ ඉරණම තීරණය වෙන හැටි චිත්‍රපටියෙ අපූරුවට නිරූපණය වෙනව.

චිත්‍රපටිය ගැන මම කියවපු දේවල් අනුව බාලා කියනනෙ ඉන්දියාවෙ ඉන්න දක්ෂ සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්. වික්‍රම්ට මේ චිත්තන් චරිතය වෙනුවෙන් ඉන්දියානු ජාතික සිනමා සම්මාණ උළෙලෙදි හොඳම නළුවට හිමි සම්මානය හිමි වෙලා තියෙනවා. සූර්යා කියන නළුවගෙ චිත්‍රපටි කීපයක්ම මම කලින් බලල තියෙනවා. ලංකාවෙත් ගෑණු ළමයි ගොඩක් කැමති, බොහොම හුරුබුහුටි, ගහගන්නයි නටන්නයි හොඳට හැකියාව තියෙන නළුවෙක්නේ... නිළියෝ දෙන්න විධියට ඉන්න ලෙයිලා සහ සංගීතා දෙන්න ගැනත් කියන්න වරදක් නෑ... සුන්දරයි... ඒ එක්කම සංගීතය දකුණු ඉන්දියානු සිනමාවෙ යෝධයෙක් වෙන මාස්ටර් ඉලෛරාජාගෙන්.

ඉන්දියානු චිත්‍රපටියක් ගැන ලියන්න ගියාම ඒ ගැන තොරතුරු වලට එක තැනක් නැති වීම ලොකු අඩුවක්. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයක් වෙන දුෂ්ඨ චරිතය කරන නළුව ගැන කොහෙවත් සඳහනක් නෑ. සාමාන්‍යයෙන් ඉන්දියාව තොරුතුරු තාක්ෂණ හැකියාවන් සම්බන්ධව ලෝකෙම හොල්ලගෙන හිටියත් තවමත් IMDb තරමට සාර්ථක පද්ධතියක් ඔවුන් සතුව නෑ... නැත්නම් මට හමු වුණේ නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන කියල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්!



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Thursday, June 23, 2011

Cloverfield (2008)


Cloverfield චිත්‍රපටියෙ තියෙන්නෙ නිව්යෝක් නගරයට පහර දෙන අද්භූත යෝධ සත්ත්වයෙක් ගැන කතාවක්. ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. නමුත් ඒකෙ කතා තේමාවෙ විධියට ඒක ඔය ගොඩ්සිලා, ට්‍රාන්ස්ෆෝමර්ස් තරම් නැතත් සෑහෙන්න ජනප්‍රිය වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ. සමහර විට චිත්‍රපටියෙ නම, ඒ කතාවේ තේමාව නිරූපණය නොකිරීමත්, රඟපාන අය ඒ තරම්ම ජනප්‍රිය අය නොවීමත්, ඒ වගේ චිත්‍රපටි කීපයක්ම කලින් නිකුත් වෙලා තිබීමත් වගේ වගේ හේතු නිසා චිත්‍රපටය ජනප්‍රිය නොවෙන්න ඇති. නමුත් මට නම් ඒක නියම චිත්‍රපටියක්. ඒ වගේම ඒක පර්යේෂණාත්මක චිත්‍රපටියක්.

කතාව ඉදිරිපත් වෙන්නෙ කැම් කෝඩර් යන්ත්‍රයක සටහන් වුණ සංස්කරණය නොවුණ චීඩියෝවක් විධියටයි. කියවපු විධියට නම් මුළු චිත්‍රපටියම DV වීඩියෝ පටයක දිගට සමානයිලු. කතාව පටන්ගන්නෙ තමන්ගෙන් සමු අරන් ඈත රටක රස්සාවකට යන්න නියමිත මිතුරෙක් වෙනුවෙන් එයාගෙ යාළුවො ටික පවත්වන සාදයකින්. සාදය අතරෙදි හොඳට විනෝද වෙමින් හිටපු ඒ සේරම දෙනා එකපාර කම්පනය වෙනවා අමුතු සද්දෙකින්.

කට්ටියම ඒ මොකක්ද කියල බලන්න පොරකන අතරෙ ඔය කවුරුත් දන්න ලිබර්ටි ප්‍රථිමාවෙ ඔළුව ගැලවිලා අහසින් ඇවිත් මහ පාර මැදට වැටෙනවා. කට්ටියටම තේරෙනවා ලොකු අනතුරක් අත ළඟ කියලා. ඊට පස්සෙ පණ බේරගන්න දුවන දිවිල්ල තමයි කතාව පුරාම තියෙන්නේ...

කතාව අපූරු විධියකට ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වෘත්තීය නොවෙන කැමරා ශිල්පියෙක් කැම් එකක් පාවිච්චි කරන විධියටම මේකෙදි කැමරාව හසුරුවලා තියෙනවා. ඒ වගේම කම්පනයට ලක් වෙද්දි කැමරාව අතේ තියෙන කෙනාට ඒක දැණෙන විධියටම අපටත් දැණෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 22, 2011

Apocalypse Now (1979)


Apocalypse Now කියන්නෙ ටිකක් පරණ වුණත් මම බලල තියෙන යුධ චිත්‍රපටි අතරෙ සුපිරි වර්ගයේ චිත්‍රපටියක්. යුද්ධයේ කුරිරු බවත්, යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන විධියත්, යුද්ධය නිසා ඒකට සම්බන්ධ වෙන මිනිස්සුන්ට දැණෙන ආතතියත් ගැන ගොඩක් සාර්ථක කතාවක් මේ චිත්‍රපටියෙ තියෙනවා.

ඇමරිකානුවන් වියට්නාමෙ යුධ වැදුනු අවධියෙ සිදුවෙන සිදුවීම් කීපයක් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඇමරිකානු හමුදාවේ කැප්ටන්වරයෙක් වෙන Captain Benjamin L. Willard උසස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමකට තෝරගන්නවා. ඒක රහසිගත මෙහෙයුමක්. ඔහුට නියම වෙන්නෙ ඒ වෙනකොට කාම්බෝජ දේශ සීමාවෙ කුරිරු යුද්ධයක නිරත වෙලා ඉන්න කර්නල්වයෙක් වෙන Walter Kurtz ව මරා දැමීමයි. ඇමරිකානු හමුදා නිලධාරින්ගේ පාලනයෙන් තොරව කර්නල් කර්ට්ස් ඔහුගේම යුද්ධයක් කරන බවයි කැප්ටන් විලාඩ් ට ඉහලින් දැනුම් දෙන්නේ..

ඉතිං කපිතන් විලාඩ් කර්නල් කර්ට්ස්ව හොයාගෙන සෑහෙන්න දුරක් යනවා. අවසානයේ ඔහුට කර්නල්වරයාව හමුවුණාම ඔහුට තේරෙනවා කර්නල්වරයා අමුතුම පුද්ගලයෙක් කියලා. ඔහුටම ආවේණික යුධ ශිල්ප ක්‍රම හරහා ඔහු යුද්ධය කරමින් ඉන්න බව කපිතන්ට තේරෙණවා. ඔහුටත් නොදැනීම ඔහු ඒ යුද්ධයේ කොටසක් බවට පත් වෙනවා. මේ කතාව ඉදිරිපත් කරන්නෙ බොහොම අපූරු විධියට... ඒව ඉතිං පතාක අධ්‍යක්ෂවරයෙක් වුණ Francis Ford Coppola මහත්තයගෙ වැඩ තමයි.

චිත්‍රපටියෙ රඟපාන්නෙත් ඒ වගේම යෝධයො ටිකක්. Marlon Brando, Martin Sheen එක්ක Robert Duvall කියන්නෙ හොලිවුඩ් සිනමාවෙ යෝධයො නේන්නම්...

Apocalypse Now චිත්‍රපටිය Joseph Conrad මහත්තයගෙ Heart of Darkness ‍කියන පොත අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ....

ඉතිං කලින් කියපු අයගෙ වැඩ එක්ක යුද්ධයේ අපි නොදන්න තව පැත්තක් ගැන දැනගන්න මේකත් බලන්න ටුයි එකක් දෙන්න.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, June 21, 2011

Treasure Planet (2002)


Treasure Planet කියන්නෙ Walt Disney සමාගමේ නිෂ්පාදනයක්. ද්විමාණ වර්ගයේ ඇනිමේෂන් එකක්. නමුත් යම් තරමකට ත්‍රිමාණ සජීවීකරණත් පාවිච්චි කරල කරපු නිර්මාණයක්. මේ චිත්‍රපටියත් කලින් කියපු Paul වගේම අභ්‍යවකාශයට සම්බන්ධ එකක්. ඒ වගේම මේක ස්කොට්ලන්ත ජාතික ලේඛක Robert Louis Stevenson මහත්මය ලියපු Treasure Island කියන පොත අනුසාරයෙන් නිපදවපු එකක්. ඔය පොත අනුසාරයෙන් වෙනත් කතා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය වගේ ගොඩක් ඒව ඉතිහාසය පුරා නිර්මාණය වෙලා තියෙනවා. Treasure Planet කියන්නෙ පොත අභ්‍යවකාශ යුගයට ගැලපෙන්න ප්‍රති නිර්මාණය වුණ අවස්ථාවක්.

Jim Hawkins කියන ගැටවරයට විශ්වයේ හිටපු දරුණු මංකොල්ලකාරයෙක්ගෙ වස්තුව හංගල තියෙන තැනක් ගැන සිතියමක් හම්බවෙනව. ඔහු තමන්ගෙ පවුලේ මිතුරෙක් වෙන ආචාර්ය Doppler සමග අභ්‍යවකාශ නෞකාවක් කුලියට අරන් මේ නිධානය හොයන්න පිටත් වෙනව. මුලදි මේ යානයේ කාර්ය මණ්ඩලයේ ඉන්න හැමෝම ජිම් ඇතුළු මිතුරන්ට බොහොම ගෞරවයෙන් සැලකුවත් ඇත්තටම ඒ සැලකිල්ල බොරුවක් කියල ජිම්ට තේරෙන්න ගන්නව. තමන් සතුව තියෙන සිතියම ගැන ඔවුන් ඇහැ ගහගෙන ඉන්න බවත් අවස්ථාව ආපු ගමන් තමන් ඇතුළු මිතුරන්ව විනාශ කරල ඔවුන් නිධානය අරන් පැනල යන බවත් ජිම්ට තේරෙණව. මේ දැන ගැනීමත් එක්ක සියල්ල වෙනස් වෙනව. ඊට පස්සෙ යානයේ එකිනෙකාට විරුද්ධ පාර්ශවයන් දෙකක් නිර්මාණය වෙනව. මේ අර්බුදයත් එක්ක නිධානය හොයාගෙන යෑමේ වීර චාරිකාව තමයි චිත්‍රපටිය පුරා දිගඇරෙන්නේ...

ඩිස්නි සමාගමෙන් කරන කාටුන් වර්ගයේ චිත්‍රපටි ඉහලම තත්ත්වයේ නිර්මාණ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෝල්ට් ඩිස්නි මහත්තය හිටපු කාලෙ ඉඳන්ම එයාල ඒ තත්ත්වය චිත්‍රපටි වල පවත්වගන්න සමත් වුණා. Treasure Planet චිත්‍රපටියෙත් ඒ තත්ත්වය ඉහලින්ම තියෙනවා. මේකෙ ජිමි හෝකින්ස්ට හඬ සපයන්නෙ හොලිව්‍රඩයේ නැගී එන කඩවසම් තරුණ නළුවෙක් වෙන Joseph Gordon-Levitt අයිය තමයි :P අනිත් අය ගැන හොයල බලන්නකෝ IMDb එකටම ගිහින්.


බයිලාවක් - දැනට මම මේ අඩවිය වෙනුවෙන් ලියපු චිත්‍රපටි ටික දැකල දන්න කියන කෙනෙක් කිවිව මගේ රේටින්ගංස් 7ට අඩු වෙන්නෙම නෑනෙ කියල. කතාව ඇත්ත. මොකද මෙතන ලියන්නෙ මට හොඳින්ම දැණුන චිත්‍රපටි නිසා ඒවගෙ රේට් එක 7/10 ට වඩා අඩු වෙන්න විධියක් නෑ ;-)

මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Monday, June 20, 2011

Paul (2011)


කලින් කීප වතාවෙදිම මම කිව්වෙ ටිකක් පරණ චිත්‍රපටි ගැන වුණාට අද කියන්න යන්නෙ මේ අවුරුද්දෙදිම නිකුත් වුණ, වැඩිය ජනප්‍රිය වෙලා නැති ඒ වුණත් සුපිරි වර්ගයේ චිත්‍රපටියක් ගැන. මේක ඇත්තටම එනකල් බලාගෙන හිටපු චිත්‍රපටියක්.

Paul කියන්නෙ පිටසක්වලින් ආපු පිටසක්වලයෙක්. මෙයා 1974දි එයාගෙ යානයේ රවුමක් දාන ගමන් ඇමරිකාවෙ (මුන් කඩාපාත් වෙන්නෙම ඇමරිකාවටනේ :P) වයෝමින් ප්‍රදේශයේ ගෙදරක ඉන්න පෝල් කියන බලු රාලගෙ ඇඟට කඩාගෙන වැටෙනව. යානයේ හිරවෙලා ඉන්න එයාව බේර ගන්නෙ ඒ බළුගේ අයිතිකාර තාරා කියන ගෑණු ළමයයි. එයාට පෝල් කියල නම තියන්නෙත් එයා.

හැබැයි ඇමරිකානු හමුදාවෙන් සහ රජයේ රහස් අංශ වලින් ගැලවෙන්න පෝල්ට හැකියාවක් ලැබෙන්නෙ නෑ. එයාට ඉතිරි අවුරුදු 60 ගෙවන්න වෙන්නෙ ඇමරිකානු හමුදා කඳවුරක. පෝල් සතුවන දැණුම සහ විශේෂ හැකියාවල් ඇමරිකානු රහස් අංශ මගින් ලබාගන්නවා. පෝල් ඇමරිකානු රජයේ තාක්ෂණික උපදේශකයෙක් විධියටයි වැඩ කරන්නේ. එයා සම්බන්ධ වුණ වැඩ ගැනත් කියනවනං... ඔය Steven Spielberg මහත්තයට E.T. හදන්න උපදෙස් දෙන්නෙ පෝල්. එතකොට ඔය X-Files එකේ Agent Mulder චරිතයත් පෝල්ගෙ අදහසක්.

නමුත් ඒ ජීවිතෙන් ගැලවෙන්න අවස්ථාව ලැබුණ ගමන්ම පෝල් එතනින් පැනගන්නවා. ඊට පස්සෙ එයාට හම්බ වෙන්නෙ එංගලන්තයෙන් ආපු සංචාරකයෝ දෙන්නෙක්ව. නිකංම සංචාරකයො නෙවෙයි. පිටසක්වල පිස්සුව උස්මුරුත්තාවටම හැදුණ, පිටසක්වල ලෝක ගැන කොමින් කතා ලියන්න ට්‍රයි කරන, පිටසක්වල ලෝක ගැන තියෙන සමුළු, සම්මන්ත්‍රණ, දේශණ, ප්‍රදර්ශණ වගේ ඒවා බලන දෙන්නෙක්. ඉතිං පෝල්ට හරියන විධියෙම දෙන්නෙක් හම්බ වෙනවා.

ඊට පස්සෙ කතාව මෙතන කියන එක වැඩක් නෑ. පෝල්ව අල්ලගන්න පස්සෙන් එන රජයේ නියෝජිතයන්ගෙන් ගැලවෙමින් ඔහුව ආපහු තමන්ගෙ ලෝකය වෙත යවන්න එංගලන්න යාළුවො දෙන්න දරණ උත්සාහෙ තමයි චිත්‍රපටියෙ ඉතිරියෙදි තියෙන්නෙ.

‍පෝල් කියන්නෙ අපේ භාසාවෙන් කිව්වොත් හෙණ පිස්සු ඩයල් එකක්. එයාට කටහඬ දෙන්නෙ නූතන හොලිවුඩයේ ඒ වගේම පිස්සු ඩයල් එකක් වුණ Seth Rogen. ඒ වගේම පෝල්ව හොඳට ඇනිමේට් කරල තියෙනවා.... ඒ තරම්ම ජනප්‍රිය අය නොවුණත් Simon Pegg සහ Nick Frost දෙන්න හොඳ විහිළු කාරයො කියල පේනවා. ඒ දෙන්න රඟපාන ජනප්‍රිය චිත්‍රපටි කීපයක්ම තියෙනවා සහ ඔය දෙන්නමයි පෝල්ගෙ කතාව ලියල තියෙන්නෙත්...

ඉතිං අළුත් අත්දැකීමක් එක්ක හොඳින් හිනාවෙන්න නම් බලන්න Paul....!



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Sunday, June 19, 2011

One Hour Photo (2002)

http://huckleberry.casperworld.com

Robin Williams මහත්තයව අපි කවුරුත් දන්නෙ බොහොම වැදගත්, නිවුණු චරිත හෝ කොමඩි චරිත ගොඩක් කරල තියෙන නළුවෙක් හැටියට. නමුත් ඔහුගේ රංගන පරාසය අති පුළුල් කියල දැණෙන චරිත ගණනාවක්ම ඔහු රඟපාලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඔහුගෙන් තවත් සුවිශේෂී රංගනයක් බලාගන්න පුළුවන් One Hour Photo චිත්‍රපටිය ගැනයි.

Seymour Parrish හෙවත් Sy කියන්නෙ මැදිවිය ඉක්මවපු තනිකඩ පුද්ගලයෙක්. ඔහුට මතක ඇති කාලයක පවුලක්, මිතුරෙක් හෝ පෙම්වතියක් ඉඳල නෑ. තනිවම ජීවත්වෙන පුද්ගලයෙක් වෙන ඔහු නගරයේ තියෙන දැවැන්ත සුපිරි වෙළඳසැලක තියෙන ඡායාරූපගාරයක තාක්ෂණ ශිල්පියෙක් විධියටයි වැඩ කරන්නේ.

ඔහු තමන්ගෙ පාරිභෝගිකයන් සමග කුළුපග වෙනව බොහොම ඉක්මනින්. ඒ වගේම එක් එක් පාරිභෝගිකය සුද්ධ කරන්න අරන් එන ඡායාරූප අනුව Sy ඒ පාරිභෝගිකය ගැන යම් මතයක් හදාගෙන ඉන්නව. මේ පාරිභෝගිකයො අතරින් Yorkin පවුලේ අයට Sy විශේෂයෙන් සලකනව. ඒ පවුලෙ ඉන්න පුංචි පුතා Jakob පුංචිම කාලෙ ඉඳන්ම එයාගෙ අම්මා Nina Yorkin පින්තූර සුද්ධ කරගන්නෙ සයිගෙන්. ඉතිං ජාකොබ්ටත් නීනාටත් සයි ගොඩක් සමීප වෙනව. ඒ වුගේම ඔහු හිතන්න ගන්නව තමනුත් මේ පවුලෙ කෙනෙක් කියල. තමන් නීනගෙ ස‍හෝදරය සහ ජාකොබ්ගෙ මාමා කියල ඔහු හිතන්න ගන්නව. ඒ එක්කම ඔහු ප්‍රාර්ථනා කරනව මේ පවුල හොඳින්, සතුටින් පවතින්න.

නමුත් පවුලේ පියාගේ දුර්වලකමක් සයිට අහු වෙනව. ඒ එක්කම සයි, පවුලේ පියා නිසා යෝකින් පවුලට වෙන්න යන විනාශයෙන් පවුල බේරගන්න උත්සාහ කරනව. මේ සිදුවීම් පෙල අවසානය දක්වාම අපිව කුතුහලයෙන් පුරවල තියන්න සමත්.

චිත්‍රපටිය ඒ තරම්මත් විශේෂ එකක් නොවුණත් නියමයි කියල කියන්න පුළුවන් එකක්. ඒ වගේම ට්‍රේලර් එකේදිත් මේක horror චර්ගයේ එකක් කියල පෙන්නන්න ගියාට එහෙමමත් නෑ.




මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Saturday, June 18, 2011

Across the Universe (2007)


අද කියන්නෙ ලස්සන සංගීතමය චිත්‍රපටියක් ගැනයි. ඒ Across the Universe!!! මේ ගැන මුලින්ම මට කිව්වෙ මගේ අන්තර්ජාල ජීවිතේ ආරම්භක අවධියෙ පටන් හොඳ මිතුරෙක් වුණ සම්පත්.

මම බලල තියෙන සංගීතමය චිත්‍රපටි සේරම වගේ එකකට එකක් දෙවෙනි නැති ඒවා. ඒ අතරිනුත් මේක උපරිමයි කියන්න පුළුවන්. හේතුව මේකෙ තියෙන්නෙ මගේ ප්‍රියතම සහ ඔයාල හැමෝම දන්න බීටල්ස් (The Beatles) සංගීත කණ්ඩායමේ සංගීතය වීමයි.

කතාව පටන්ගන්නෙ එංගලන්ත ගම්බද තරුණයෙක් වෙන Jude අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යාමත් එක්කයි. එහිදී ඔහුට හමුවෙන මිතුරන් එක්ක ජීවිතයේ විවිධ අවස්ථා වලට නිදහසේ මුහුණ දීමත්, ඔහු සමග එකම කාමරයේ ජීවත්වෙන ඔහුගේ හොඳම මිතුරාගේ සොයුරිය එක්ක ඇතිවෙන ආදරයත් එක්ක තමයි ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ. ඒ අතරෙ වෙනත් කීප දෙනෙක්ගෙ කතා තියෙනවා. ඒ කතා සේරම එකිනෙක සම්බන්ධ කරන අපූරු සංගීතමය බවක් චිත්‍රපටිය පුරාම රැඳිල තියෙනවා. ඒ එක්කම පසුබිමින් යන කතාවෙ ඒ වකවානුවෙ තිබුණ වියට්නාම යුද්ධය ගැන කතා කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් ජූඩ්ගේ ජීවිතේ වටේ තමයි කතාව ගලාගෙන යන්නේ...

චිත්‍රපටියෙ නළු නිලියන් සහ රඟපෑම් ගැන නම් විශේෂයෙන් කියන්න යමක් නැති වුණත් මෙකෙ ප්‍රධාන නළු Jim Sturgess කියන්නෙ 2010 ආපු The Way Back චිත්‍රපටියෙන් ළඟදිත් වැඩ පෙන්නපු නළුවෙක්.

චිත්‍රපටිය පුරාම බීටල්ස් සංගීතය මුසු වෙලා තියෙන විධිය හරිම ලස්සනයි. මම මේ චිත්‍රපටියට කැමති ප්‍රධාන සාධකය ඒකයි. ඉතිං මෙන්න Across the Universe! සංගීතයට කැමති, බීටල්ස්ලට හොඳටම කැමති හැමෝටම. බීටල්ස් සංගීතයත් එක්ක විශ්වය සරා යන්න...


ට්‍රේලර් එක අල්ලල ගියෙ නැති අය මේක බලන්න එපා....

මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, June 17, 2011

One Flew Over the Cuckoo's Nest (1975)

http://www.movie-list.com

මේ කියන්න යන්නෙ චිත්‍රපටි ලෝකයේ ඉහලම ගෞරවයට පාත්‍ර වුණ, ඒ වගේම කවදාවත් විඳින්න බැරිකමක් ඇති නොවෙන One Flew Over the Cuckoo's Nest චිත්‍රපටිය ගැනයි. මේක මගේ මිතුරු ගනේගොඩ මහත්තය විසින් මට බලන්න කියල නිර්දේශ කරපු චිත්‍රපටියක්. එයා ඔය කට පුරා මරු සහ පට්ට කියන්න පුළුවන් චිත්‍රපටි ගණනාවක් නරඹපු, නරඹන සහ චිත්‍රපටි ගැන අදටත් හොඳ සංවාදයක යෙදෙන්න පුළුවන් මගේ හොඳ මිත්‍රයෙක්. ඉතිං මම මේක මට චිත්‍රපටි බාගන්න අවස්ථාවක් ලැබුණු මුල් අවධියෙදිම බාගත්තා.

McMurphy කියන්නෙ එක්තරා විධියක කම්මැලියෙක්. ඔහුට වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. ඔහු හිතනව තමන්ට පිස්සු කියල පෙන්නන්න පුළුවන් නම් වැඩ වලින් මිදිල හිරේට වෙලා ඉන්න පුළුවන් වෙයි කියල. ඒ හින්දා ඔහු පිස්සු වැඩක් කරනව. ඒකෙදි තමන්ට පිස්සු කියල නීතියට ඒත්තු ගන්වන්න ඔහුට පුළුවන් වුණත් හිරේ වෙනුවට ඔහුට යන්න වෙන්නෙ මානසික රෝගීන් වෙනුවෙන් තියෙන නේවාසික සායනයකට. ඔහු එතන පාලනයේ හැමෝවම රවට්ටගෙන තමන්ට පිස්සු කියල පෙන්නගෙන ඉන්නව. එතනදි ඔහුට එක එක මානසික ව්‍යාධි වලින් පෙළෙන රෝගීන් එක්කම ඔහු වගේම බොරු පිස්සු අරන් ඉන්න කෙනෙකුත් මුණ ගැහෙනව. චිත්‍රපටියෙ කතාව ගලාගෙන යන්නෙ මේ රෝහල ඇතුලෙ මැක්මර්ෆිගෙ ජීවිතේ ගෙවෙන හැටි එක්ක තමයි. මානසික රෝගීන්ගෙ ජීවිත වලට අළුත් දේවල් එකතු කරන මැක්මර්ෆිගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ මේ ආයතනයේ ප්‍රධාන හෙද පාලිකාව වෙන Ratched නෝන ඔහුගෙ පිස්සුව හොඳ කරන්න පටන් ගැනීමත් එක්ක.

අපි පිස්සු කියන්නෙ මොකටද සහ පිස්සු කියන්නෙ ඇයි කියන කාරණා එක්ක කාටද ඇත්තටම පිස්සු කියන එකත් මේකෙදි මිනිස්සුන්ගෙ ජීවිත අස්සට ගිහින් කතා කරනව. අන්තිමේ අපි පිස්සො කියල කියන අයට අපට වඩා පිස්සු නැති බව තමයි තේරෙන්නේ...

චිත්‍රපටියෙ ප්‍රධාන රංගනය හොලිවුඩය අදටත් හොල්ලගෙන ඉන්න Jack Nicholson මහත්තයගෙන්. එතුමගෙ රඟපෑම් ගැන අපි මොකට කතා කරනවද? සුපිරිම නළුවෙක්නේ... ප්‍රධාන නිලිය විධියට Louise Fletcher නෝනත් බොහොම හොඳ දුෂ්ඨ රංගනයක යෙදෙනව. ඒ වගේම මානසික රෝගීන්ගෙ චරිත ටික රඟපාන සහයක නළු නිළියො සෙට් එකත් අපිව හිනස්සවමින් අපූරුවට රඟපානව.

ඇත්තටම මේක බලල අපිටත් පිස්සු හැදෙන්න පුළුවන්. නැත්තං තියෙන පිස්සු හොඳ වෙන්නත් පුළුවන්...



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Thursday, June 16, 2011

Into the Wild (2007)

http://www.cinemagora.co.uk

Into the Wild චිත්‍රපටියත් මම සෑහෙන්න ඉස්සර දවසක බලපු නියම චිත්‍රපටියක්. ඒ දවස්වල තිබුණ වනගත වීමේ පිස්සුවත් එක්ක මේ චිත්‍රපටිය සෑහෙන්න වැදුණා මට. ඒ වුගේම මේ චිත්‍රපටියෙ තියෙන සංගීතය මට චිත්‍රපටියට වඩා දැණුන ඒ දවස් වල. දැනටත් බොක්ස් ගිටාර් වලින් විතරක් වැයෙන මේකෙ සංගීතය හොඳට විඳින්න පුළුවන්.

Christopher McCandless කියන තරුණයා තමන්ගෙ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පස්සෙ තමන්ට අයිති දේවල් අත්හැරල දාල තමන්ගෙ සියළු ධනය ප්‍රණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කරල, පොකට් එකේ ඉතිරි වුණ සල්ලි ටික පුච්චල දාල ඇලස්කාවට යන්න පිටත් වෙනව. ඔහු යන්නෙ කැලෑවට වෙලා වනගත ජීවිතයක් ගෙවන්න. ඒ ගමනෙදි ඔහුට හමුවන විවිධ පුද්ගලයන් සහ මුහුණ දෙන්න වෙන විවිධ සිදුවීම් තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නේ. ඒ සිදුවීම් සහ පුද්ගලයින් ක්‍රිස්ටෝපර්ට ජීවිතේ ගැන තියෙන අව‍බෝධය වෙනස් කරන්න සමත් වෙනව. ඔහු තමන්ගෙ අරමුණ කරා යන්නෙ වඩාත් දැණුවත් පුද්ගලයෙක් විධියට!

චිත්‍රපටියෙ රඟපාන්නෙ ඒ තරම්ම ජනප්‍රිය නළු නිළියො නොවුණට ඔවුන්ගේ රඟපෑම් බොහොම ස්වභාවිකයි. ප්‍රධාන නළුවා වෙන Emile Hirsch රඟපාන ජනප්‍රිය චිත්‍රපටි නම් කීපයක් තියෙනවා. මේ චිත්‍රපටියෙදිත් ඔහුගේ රංගනය නම් සුපිරි. ඒ එක්කම මේක හොලිවුඩයේ ඉන්න දක්ෂ නළුවෙක් වෙන Sean Penn මහත්තයගෙ අධ්‍යක්ෂණයක්. ක්‍රිස්ටෝපර් තමන්ගෙ අරමුණ කරා යද්දි පසුකරන ස්වභාවධර්මයේ අපූරු තැන් ගොඩක් බොහොම සුන්දරව චිත්‍රපටියට අසු කරගන්නත් ඔහු සමත් වෙලා තියෙනව.

Christopher McCandless කියන්නෙ සැබෑවටම ජීවත් වුණ පුද්ගලයෙක්. විකිපීඩියාව අනුව ඔහු ජීවත් වෙලා තියෙන්නෙ අවුරුදු 24යි. කැලේට වෙලා ඔහු ඒ තරම් කාලයක් ජීවත් වෙලා නැති පාටයි. නමුත් ජීවිතේ නිදහස සහ වින්දනය ගැන ඔහු ඉතිරි කරල ගිහින් තියෙන දේවල් නම් සුවිශේෂයි.

බලන්න. ඔයාලටත් කවදහරි වනගත වෙන්න හිතිල ඇතිනේ....




මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Tuesday, June 14, 2011

You've Got Mail (1998)

http://moviereviewland.blogspot.com

අද කියන්න යන You've got mail චිත්‍රපටිය මම බලපු හොඳම චිත්‍රපටියක්. ඒ වගේම නැවත නැවතත් බලමින් බොහොම පුංචි තැන් සියල්ලම උකහාගන්න උත්සාහ කරමින් රසවිඳපු චිත්‍රපටියක්. මගේ ලකුණු දීමේ ක්‍රමය අනුව 9/10ක් මට දෙන්න පුළුවන් ඒ නිසා. ඔය ලකුණු දීම ඇත්තටම චිත්‍රපටියෙ තියෙන සිනමාත්මක දේවල් වලට වඩා චිත්‍රපටිය මට දැණෙන විධිය මත පදනම් වුණ එකක් නිසා සමහර විට මේක ඔයාලට දිරවන එකක් නෙවෙයිනම් සමාවෙන්න ඕන.

මේක මුලින්ම මට හමුවුණේ හොඳටම සවුත්තු වෙලා තිබුණ VCD තැටි දෙකකින් 2004දි විතර. ඒක බලන්න බැරිම තැන මම youtube එකේ මේක ගැන හෙව්වා. ඒකෙ තිබුණා කොටස් වශයෙන් මුළු චිත්‍රපටියම. ඒ දවස්වල ටොරන්ට්, mkv හොයාගන්න තරම් දැණුමක් නොතිබුණ නිසා මම ඔය youtube කෑලි ‍ටික බාලා හෙණ කට්ටක් කාලා එකට මාට්ටු කරලා චිත්‍රපටිය ආයෙම හැදුවා... ඒක සෑහෙන්න කාලයක් බැලුවා... පස්සෙ කාලෙක නම් මට ටොරන්ට් එකක් හම්බ වුණා.

චිත්‍රපටියට හිත යන්නෙ කරුණු කීපයක් නිසා. එක මේක ප්‍රේම කතාවක් වීම. දෙක ‍ඒ ප්‍රේම කතාව ඔන්ලයින් හමුවන යුවලක් අතර ඇතිවෙන පෙම් පලහිලව්වක් සම්බන්ධව වීම. තුන්වන එක තමයි චිත්‍රපටිය පුරාම වගේ පොත්පත් ගැන කතා කිරීම. අනිත් වැදගත්ම එක තමයි රඟපාන නළු නිළි යුවල. මම හිතන්නෙ Tom Hanks ගැන නොදන්න, එයාට ආදරය නොකරන හොලිවුඩ් චිත්‍රපටි රසිකයෙක් ඉන්න විධියක් නෑ. ඒ තරමටම ටොම් හෑන්ක්ස් චිත්‍රපටි රසිකයන්ව තමන්ගෙ රඟපෑම්වලින් රසවත් කරපු නළුවෙක්. ඒ එක්කම Meg Ryan කියන්නෙත් මම බොහොම ආදරය කරන දක්ෂ හුරුබුහුටි නිලියක්! මේ දෙන්නාම ඉන්න මේ වගේම තවත් චිත්‍රපටියක් ගැන පස්සෙ කතා කරමු.

දැනට අපි කතා කරන්නෙ You've got mail ගැන. මේකෙ කතාව හරිම සුමටයි. ඒ වගේම නොදැනීම ගලාගෙන යන ෆැන්ටසික් ගතියක් චිත්‍රපටිය පුරාවටම තියෙනවා.

Joe Fox කියන්නෙ ධනවත් ව්‍යාපාරික පවුලකින් පැවතෙන දැවැන්ත පොත් ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගෙ පොත් සාප්පු ජාලයේ අළුත්ම ශාඛාව විවෘත කරනවා. ඒක නිසා ඒ සාප්පුව තියෙන පාර කෙලවරේම අතීතෙ ඉඳන් තිබුණ පාරම්පරික පුංචි පොත් කඩේ බංකොලොත් වෙලා වහන්න වෙනවා. ඒ කඩේ අයිතිකාර තරුණ ගෑණු ළමයට හෙවත් Kathleen Kellyට විකල්පයක් නැති වෙනවා. මේක නිසා කෙලී සහ ජෝ අතර ව්‍යාපාරික මතගැටුමක් ඇති වෙනවා. දෙන්නට දෙන්නා නයි වෛරයෙන් ඉන්නේ.

හැබැයි මේ දෙන්නා ඔන්ලයින් පෙම්වතුන් ඒ වෙද්දි. ඒක ඔවුන් ව්‍යාපාරිකයන් විධියට සැබෑවට අඳුනගන්න කලින් ඉඳන් පැවතෙන එකක්. ඒ පෙම් කතාවෙදි මේ දෙන්නා තරම් ගැලපෙන දෙන්නෙක් නැති තරම්. නමුත් දෙන්නම ඔන්ලයින් ඉන්නෙ වෙනත් නම් වලින් සහ දෙන්නම දෙන්නගෙ ඇත්ත තොරතුරු ඒ විධියටම ඔන්ලයින් කියන්න යන්නෙ නැති නිසා දෙන්නට දෙන්නා සැබෑ ලෝකෙදි පෙම්වතුන් විධියට අඳුනගන්නෙ නෑ. කැත්තට පොල්ල වගෙයි ඉන්නේ.

ඔය අතරෙ කැත්ලීන්ගෙ කඩේ වහන්න වීමත් එක්ක ඇය තමන්ගෙ ඔන්ලයින් පෙම්වතා වෙන ජෝගෙන් උදව් ඉල්ලනවා. ඔවුන් දෙදෙනා හමුවෙන්න තීරණය කරනවා. ඉතින් දවසක් යොදාගෙන ජෝ එනවා කැත්ලීන්ව බලන්න. ඇවිත් බැලින්නම් සැබෑ ලෝකෙදි තමන්ගෙ පරම තරහකාරි තමයි තමන්ගෙ ඔන්ලයින් ජීවි‍තේදි හොයාගත්තු පෙම්වතිය.

ඊට පස්සෙ අපිව එක එක පැති වලට ඇද දමමින්, සංවේදී කරමින් මේ කතාව අන්තිම දක්වා හරිම සුන්දර විධියට ගලාගෙන යනවා.

මම හිතන්නෙ ඔන්ලයින් ජීවිතයක් තියෙන අපි වගේ අයට වඩාත් සමීප චිත්‍රපටියක්! හැමෝම බලන්න.


මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

Monday, June 13, 2011

Adaptation (2002)


Adaptation චිත්‍රපටිය මුලින්ම මම බැලුවෙ අවුරුදු කීපයකට කලින් VCD තැටියකින්. නිකලස් කේජ්ට වහ වැටිල එයාගෙ චිත්‍රපටි හොයමින් බලපු කාලෙකදි තමයි CD කඩේකදි ඔය CD එක දැකල අරන් බැලුවේ. සිංහලෙන් තියා ඉංගිරිසියෙන්වත් සබ්ටයිටල් නොතිබුණ නිසා ඒ දවස්වල මට චිත්‍රපටිය ඒ තරම් තේරුණේ නෑ. කතාව නම් අමුතු එකක් කියල තේරුණා. මෑතකදි මම ආයෙත් චිත්‍රපටිය බාගත්ත. Nicolas Cage එක්ක මගේ තවත් ප්‍රියතම නිලියක් වෙන Meryl Streep දෙන්නම ඉන්න නිසා සහ මේ වතාවෙ මට ඉංගිරිසියෙන් සබ් එකක් හොයාගන්න පුළුවන් වුණ නිසා හොඳට චිත්‍රපටිය රසවිඳින්න පුළුවන් වුණා.

චිත්‍රපටියෙ ඉන්නෙ නිවුන් ‍සහෝදරයො දෙන්නෙක්. ඒ Charlie Kaufman සහ Donald Kaufman. මේ චරිත ද්විත්වයම කරන්නෙ නිකලස් කේජ්. චරිත දෙක හාත්පසින්ම ස්වභාවයන් දෙකක්. ඒක කේජ්ගෙ සුපිරි රංගනයක්. මේ දෙන්නම චිත්‍රපටි තිර රචකයෝ. මේ දෙන්නගෙන් කතාව ප්‍රධාන වශයෙන් ගලාගෙන යන්නෙ චාලි කව්ෆ්මාන් වටේ තමයි. එයාට භාර වෙනව පොතකින් තිර පිටපතක් ලියන්න. The Orchid Thief කියන මේ පො‍තේ තියෙන්නෙ ඕකීඩ් වෙළෙන්දෙක්ගෙ ජීවිතේ ගැන කතාවක්. මේ කතාව තිර පිටපතකට ගේන්න චාලි සෑහෙන්න දුක් විඳිනව. මොකද ඔහුට ඒ පොතෙන් කිසිම කික් එකක් දැණෙන්නෙ නෑ. එයා හිතන්නෙ පොත ලියපු Susan Orlean කියන ලේඛිකාව අවංකව පොත නොලියපු නිසා ‍ඔහුට පොත දැණෙන්නෙ නෑ කියලයි. ඔය අතරෙ සාමාන්‍ය විධියෙ action, crime වර්ගයේ කතාවක් ලියන ඔහුගේ සොහොයුරා කිසිම අපහසුවක් නැතිව බොහොම නිදහසේ තමන්ගෙ කතාව ලියන එක ගැනත් චාලිට ඉරිසියාවක් වගේ එකක් දැණෙනව. ඒ හැම එකකින්ම එයා පීඩනයට ලක් වෙලා ඉද්දි එයාගෙ ගෑණු ළමයත් එයාව දාල යනව. ඉතින් මේ හැමදේකින්ම මිදෙන්න ඕන නිසා අන්තිමේ චාලි තීරණය කරනව පොතේ කතුවරියව හම්බවෙන්න.

ඊට පස්සෙ වෙන්නෙ බොහොම අහඹු සිදුවීම් පෙලක්. කතාව නොහිතපු තැනකට ගිහින් උඩු යටිකුරු වෙලා ආයෙත් චාලිට සැනසීම උදාවෙන තැනකින් අවසන් වෙනවා. විශේෂම දේ තමයි මේ බොහොමයක් චරිත සැබෑ චරිත වීම. හැබැයි චාලි කව්ෆ්මන් සැබෑ චරිතයක් වුණාට ඔහුගේ සොයුරු ඩොනල්ඩ් ඔහු විසින් මවපු චරිතයක්.

චිත්‍රපටිය පුරාම තියෙන කතාවෙන් කියවෙන්නෙ පොතක් චිත්‍රපටියකට අනුවර්තනය කරන්න යද්දි ලේඛකයට දැණෙන දේ තමයි. කේජ්ගෙ රඟපෑම් ප්‍රිය කරන ඕනම කෙනෙක් කැමති වෙයි.



මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Sunday, June 12, 2011

Eat Pray Love (2010)


Eat Pray Love කියන්නෙ මෑතකදි මම බලපු හොඳම කියල කියන්න පුළුවන් චිත්‍රපටියක්. ‍ඒ හේතු කීපයක් නිසා. එකක් තමයි ජුලියා රොබර්ට්ස්. ඇගේ රඟපෑම්වලට විවාදයකින් තොරවම මම කැමති වෙන ගතියක් තියෙනවා. ඒක ඇයට තියෙන රංගනයේ නිරායාසාත්මක හැකියාව නිසා වෙන්න ඕන. චිත්‍රපටියට කැමති වෙන්න ඊළඟ හේතුව තමයි ඒ චිත්‍රපටිය බොහොම සුන්දර රූප පෙළක් වීම. ඇමරිකාව ඉතාලිය, ඉන්දියාව සහ ඉන්දුනීසියානු බාලි දූපත් ඇසුරේ රෑපගත කරල තියෙන චිත්‍රපටිය තුල තියෙන දර්ශන අපූරුයි. අනිත් කාරණය තමයි මෙහි Eat කොටසට අදාලව පෙන්නන ඉතාලි කෑම වර්ග. සාමාන්‍යයෙන් පෙරේතකමට කන මිනිස්සු නොවුණට රසේ එක එක විධි අත්විඳින්න කවුද කැමති නැත්තේ. ඉතිං කෑම ගැන පෙන්වන කොටස සුපිරි! අනිත් කරුණ මේකෙ ඉන්න ප්‍රධාන නළුවො කීප දෙනා ඒ තමයි James Franco, Billy Crudup, Richard Jenkins සහ Javier Bardem. එයිනුත් ජාවියර් රඟපාපු Sea Inside ගැන වෙන තැනකත් කලින් ලිව්වනේ.

කතාවෙ ප්‍රධාන චරිතය තමයි ලිස්. ඇය සංචාරය කරමින් ඒ ගැන ලියන ලේඛිකාවක්. ඇගේ විවාහය තුල ඇයට ඇයව අහිමිවීම නිසා ඇය ඉන්නෙ කනස්සල්ලෙන්. ඒ පීඩනයේ උපරිමයෙදි ඇය තීරණය කරනව දික්කසාද වෙන්න. පසුව ඇයට එයින් පලායන්න උවමනා නිසාම ඇය ඉතාලියට යනවා සියළු දේ පසෙක දමා. එහිදී විවිධ කෑම වර්ග එක්ක ගත කරන කාලය ඇගේ ජීවිතය පහසු කරවනවා. පසුව ඉන්දියාවෙදි යාඥා මගින් ඇය ගිලිහුණු ඇගේ ආත්ම විශ්වාසය ගොඩනගාගන්නවා. අන්තිමේ බාලි දූපත් වලදි ඇයට නැවත ආදරය හමුවෙන්නෙ ඇය පුහුණු කරන භාවනා ක්‍රම වලින් කියවෙන අභ්‍යන්තර සමබරතාවයත් එක්කමයි.

මේ චිත්‍රපටිය ඇත්තටම මේ අත්දැකීමට මුහුණ දීපු Elizabeth Gilbert විසින් රචිත Eat Pray Love පොත ඇසුරින් නිමැවුණ චිත්‍රපටියක්. පොතත් බොහොම අපූරුයි කියල කීප දෙනෙක්ම කියල තිබුණ. කොහොමත් චිත්‍රපටිය විතරක් වුණත් අපූරු අත්දැකීමක්...


මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Saturday, June 11, 2011

Dabangg (2010)


Dabangg චිත්‍රපටිය හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ගැන අපේ සුපුන් සුදාරකත් කෙටි විස්තරයක් කරල තියෙනව මෙතන. මට සාමාන්‍ය හින්දි චිත්‍රපටියක් විධියට කතාව ඒ තරම්ම විශේෂිත එකක් විධියට නොපෙනුනත් කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. ඒ එක්කම සටන් ජවනිකා සහ වෙනත් පුංචි පුංචි ත්‍රාසජනක අවස්ථා රූගත කරල තියෙන විධිය ගැන හොඳ පැහැදීමක් ඇති වුණා. විශේෂයෙන්ම The Matrix චිත්‍රපටියේ සටන් ජවනිකා අනුකරණය කරන්න සෑහෙන්න සාර්ථක ප්‍රයත්නයක් දරල තිබුණ.

චිත්‍රපටියෙ තියෙන්නෙ චුල්බුල් පාණ්ඩේ කියන නාහෙට නාහන පොලිස් නිලධාරියෙක්ගෙ කතාවක්. ඒ චරිතය සල්මාන් ඛාන් සුපුරුදු විධියටම උපරිමයෙන් රඟපානවා. ඔහු සෑම අතින්ම වීරයා. පුංචි කාලෙ ඉඳන් ඔහුව පවුල තුල කොන් වීම නිසා උවමනාවෙන්ම ඔහු රළු චරිතයක් වෙලා. හොරුන්ට, මං පහරන්නන්ට, දේශපාලන හෙංචයියන්ට බොහොම සැරෙන් ඉන්න ඔහුට රජ්ජෝව හමුවීමත් එක්ක ඔහු‍ ටිකක් මෘදු වෙන්න පටන්ගන්නවා. රජ්ජෝගෙ චරිතය රඟපාන සොනක්ෂි සින්හා තරම් සුන්දර නිලියක් තමාට හමුවෙලා නෑ කියල තමයි සුදාරක නම් කියල තිබුණෙ.

සුපුරුදු විධියටම දූෂිත දේශපාලකයෙක් මේ කතාවට ඇ‍ඳෙනවා. සිදුවීම් ගණනාවකට පස්සෙ වීරය ගිහින් අර දුෂ්ඨයෝ සෙට් එකටම නෙලනවා ඇප නැති වෙන්න.

හිනා වෙන්න, බලන් ඉන්න, සංගිතයෙන් මන්මත් වෙන්න, අපූරු සටන් වලින් කුල්මත් වෙන්න කියාපු චිත්‍රපටියක්!



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, June 10, 2011

Network (1976)


මුල්ම චිත්‍රපටිය විධියට කියන්න යන්නෙ දවස් කීපයකට කලින් බලපු එකක් ගැන. ඒ තමයි Netwok.

මේක රූපවාහිනී සමාගමක ‍තුල ඉන්න චරිත කීපයක් වටේ තමයි දිවෙන්නේ. UBS රූපවාහිනී චැනලයේ ප්‍රවෘත්ති ප්‍රකාශකයෙක් වුණ හොවාඩ් බීල්ව එයාගෙ ප්‍රවෘත්ති ප්‍රකාශයට තියෙන රේටින්ග්ස් මදි වීම නිසා ආයතනයෙන් නෙරපනව. රූපවාහිනී රස්සාවම තමන්ගෙ ජීවිතය වුණ නිසා බීල්ට මේක දරුණුවට බලපානව. තමන්ගෙ අවසන් ප්‍රවෘත්ති ප්‍රකාශයෙදි ‍කවුරුත් නොහිතපු විධියට මේ ගැන ඔහු පාඨකයාට කියනව. ඒ ඔහුටම අනන්‍ය වුන දාර්ශනික කතාවකින්. ඒ විකාශය හොඳට හිට් වෙනව. ඉතිං ඊට පස්සෙ එයාගෙම ෂෝ එකක් විධියට ඔහුගෙ කතා විකාශනය කරන්න ගන්නව.

මේ ක්‍රියාදාමය පාලනය කරන්නෙ Max සහ Diana කියන නාලිකාවෙ ඉහල නිලධාරින් දෙන්නෙක්. ඒ දෙන්න අතරෙ ඇතිවෙන පෙම් සම්බන්ධය සහ ඒක ඊට පස්සෙ නාලිකාවෙ අභ්‍යන්තර දේවල් වලට බලපාන හැටිත් ඒ ඔස්සෙ ඒ අයගෙ ජීවිත වෙනස් වෙන හැටිත් තමයි කතාව පුරා ගලාගෙන යන්නෙ.

මට හොඳටම හිතට ඇල්ලුවෙ මේ චිත්‍රපටියෙ ප්‍රධාන නිළිය වෙන Faye Dunaway සහ William Holden ගෙ රඟපෑම තමයි. Faye Dunaway කොයිතරම් දැණෙන්න රඟපෑවද කියනවනම් එයා රඟපාපු තවත් චිත්‍රපටි කීපයක්ම ඊට පස්සෙ හොයාගෙන බැලුවා.


මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 8, 2011

මේකයි වැඩේ!

සාමාන්‍යයෙන් සෑහෙන්න චිත්‍රපටි බලන මනුස්සයෙක් විධියට ඒ ගැන ලියන්න කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් හැමදේම ගැන ලොකුවට ලියන්න බැරි වුණත් බලන ෆිල්ම් ගැන පොඩි සටහනක් මේක කියවන හැමෝමත් එක්ක බෙදාගන්නයි මේක පටන්ගත්තෙ. පටන්ගත්තට කරන එක අමාරු වැඩක් කියල තේරෙන්නෙ වේලෙන්න ගත්තම. අපි බලමු මේක මොකක් වෙයිද කියලා!
Related Posts Plugin for WordPress, Blogger...