Friday, August 12, 2011

Milk (2008) | Sean Penn, Josh Brolin, Emile Hirsch, James Franco


හොලිවුඩ් චිත්‍රපටි නිතර බලන කෙනෙක්ට Sean Penn කියන නළුවව මිස් වෙන්න විධියක් නෑ. අද කියන්න යන්නෙ ඔහුගෙ විශිෂ්ඨ රංගනයක් බලාගන්න පුළුවන් Milk චිත්‍රපටිය ගැන. මේක චරිතාපදානයක්. 1970 ගණන්වලදි දේශපාලනයට ආපු ඇමරිකානු සමරිසි ක්‍රියාකාරිකයෙක් වුණ Harvey Milk ගැන තමයි මේ චිත්‍රපටිය.

Harvey Milk ඒ වකවානුවෙදි බටහිර රටවලත් පාපයක් විධියට සැලකුණු සමලිංගිකත්වය සහ සමරිසි පුද්ගලයන්ගෙ සමාජ අයිතීන් ගැන කතා කරපු, ඒ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. සමරිසිභාවය සාමාන්‍ය දෙයක් සහ ඒක සමාජයට කරන අමුතු බලපෑමක් නෑ කියන අදහස කියාපෑම තුලින් ඔහු තමන් වටේ යම් බලයක් ගොඩනගාගන්නවා. ඒ නිසාම ඔහුට අවුරුදු 48දි මැරුම්කන්නත් සිද්ධ වෙනවා.

චිත්‍රපටියෙ තියෙන්නෙ ඔහුගෙ ජීවිතේ අවුරුදු 40න් පසු අවුරුදු 8ක කාලය ගෙවුණ විධියයි. ඔහුත් ඔහුගෙ පෙම්වතාත් නිව්යෝක් නගරය අත්ඇරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට එනවා. ඒ වකවානුව සැන්ෆ්‍රැන්සිස්කෝවෙ තියෙන කැස්ත්‍රෝ කියන ප්‍රදේශයට සමරිසි පුද්ගලයන් සංක්‍රමණය වුන කාලයක්. හාවි මිල්ක් මේ ප්‍රදේශයෙ පුංචි සේයාපටල අලෙවිසැලක් පටන්ගන්නවා. ඒ හරහා ඔහු වටපිටාවෙ ඉන්න සමරිසි පුද්ගලයින්ගෙ එකතුවක් හදාගෙන ඒකට නායකත්වය දෙනවා. පසුව ඔහු සැන්‍ෆ්‍රැන්සිස්කෝ නගරයේ අධිකාරි බලය දරණ මණ්ඩලයේ අසුනක් දිනාගන්නවා. තමන්ගෙ සමරිසිභාවය ප්‍රසිද්ධියෙ පිලි අරන් ඒ හරහා දේශපාලන බලයක් දිනාගත්තු ප්‍රථම පුද්ගලය වෙන්නෙ හාවි මිල්ක් කියලයි කියවන්න ලැබුණෙ.

සීන් පෙන් මහත්තය මේකෙ කරන රඟපෑම සුවිශේෂයි. නමුත් ඔහුගෙ වෙනත් රඟපෑම් බලල නැති කෙනෙකුට ඒක එකපාරම නොදැණෙන්න පුළුවන්. ඒ නිසා පසුව විස්තරාත්මකව ලියනකල් උවමනා කෙනෙක්ට එතුම රඟපාන 21 Grams, Mystic River, I Am Sam වගේ චිත්‍රපටි බලන්න පුළුවන්. සීන් පෙන්ට අමතරව මේකෙ දැනට හොලිවුඩයේ ‍ඉන්න තරුණ නළුවො අතරෙ වැඩ පෙන්නපු Emile Hirsch සහ James Franco දෙන්නත් රඟපානවා.

මම හිතන්නෙ මිනිස්සු හැමෝම එක එක විධියට එකිනෙකාගෙන් වෙනස්. ඒ වෙනස පදනම් කරගෙන විරුද්ධ වෙන්න, මරාගන්න ගියානම් අද වෙනකොට මිනිස් වර්ගයා නැහැ. නමුත් ඉතිහාසෙ ඉඳන් අපි ගොඩක් දක්ෂ වෙලා තියෙන්නෙත් එහෙම ඒවට තමයි. ඒත් අපි හොඳ අවසානෙකට කැමති නිසා හැම දෙයක් සම්බන්ධවම ඒක බොහොම හිමීට වෙනස් වෙමින් යයි කියල හිතමු.




මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

1 comment:

  1. ලිපිය ලස්සනට ලියල තියෙනවා. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...