Monday, August 22, 2011

The Best Little Whorehouse in Texas (1982) | Burt Reynolds, Dolly Parton, Dom DeLuise


The Best Little Whorehouse in Texas කියන චිත්‍රපටිය ගැන මුල්ම ඔත්තුව දුන්නෙ G+ එකේ ටිරෝන්. Dolly Parton ටිකක් ආදි කාලෙ නිලියන් අතරින් මම කැමති කෙනෙක් නිසා මේක හොයාගෙන බලන්න ඕන කියල හිතුණා. මුලින් ටිකක් කම්මැලි වෙයිද මන්දා කියල පොඩ්ඩක් සැක හිතුණත් ටික වෙලාවක් යද්දිම කතාව ගොඩක් රසවත් එකක් බව තේරුණා.

චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ වෛශ්‍යා ශ්‍රමිකයන් සපයන ස්ථානයක් වටෙයි. සරලව කිව්වොත් ගණිකා නිවාසයක් තුල ජීවත්වෙන තරුණියන් පිරිසකගෙ ඉරණම තීරණය වෙන කතාවක් තමයි මේක. හැබැයි ඔය ගණිකා නිවාසය කියන නම කියපු ගමන් අපට හිතෙන දේවල් එක්ක නම් මේකෙ කොහෙත්ම බලන්න බෑ.

මේ නිවාසය ඇමරිකා‍ එක්සත් ජනපදයෙ ටෙක්සාස් ජනපදයෙ ලැන්විල් කියන කෝරලයෙ පිහිටල තියෙන එකක්. ඒක පටන් අරන් තියෙන්නෙ 1910දි. බොහොම හොඳ සේවාවත් ප්‍රිය මනාප බව සහ ප්‍රශ්ණ අවම වීම නිසත් මේ වෛශ්‍යා නිවාසය නගරයෙන් පිටත් සෑහෙන ජනප්‍රිය එකක් වෙනව. මුදල් හිඟ වුණ කාලෙකදි මිනිස්සු තමන්ගෙ ගොවිපලවල කිකිලියන් ගෙනත් දීල ඒ හිලව්වට සේවය ලබාගත්තු නිසා මේ නිවාසය ගොඩක් ජනප්‍රිය වෙන්නෙ Chicken Ranch නමින්. පරම්පරාවකට පස්සෙ මේකෙ ප්‍රධාන පාලිකා ධුරය හම්බ වෙනව කාලයක් ඒකෙ වැඩ කරපු දක්ෂ සේවිකාවක් වෙන Mona Stangley මෙනෙවියට. ඇගේ ප්‍රධාන සේවා ලාභිය තමයි නගරයේ ෂෙරීෆ්වරයා. මේ නිසා නීතියේ ආරක්ෂාවත් මේ ස්ථානයට ලැබෙනවා. ඒ වගේම පිටින් මේ ස්ථානයට එන අයට වෙනත් වෙනත් සේවාවන් සපයන්න සිද්ධ වීම නිසා නගරයේ අනෙකුත් කර්මාන්ත, ආදායම් මාර්ගත් දියුණු වෙනවා. මේ නිසා ඒ නගරයේ කවුරුත් චිකන් රෑන්ච් වෛශ්‍යා නිවාසය ගැන ප්‍රසාදයෙන් තමයි ඉන්නේ. තමන්ගෙ සැමිය සතියකට වතාවක් ඒකෙ සේවය ලබාගැනීම ගැන ආඩම්බර වෙන බිරින්දෑවරුත් ඔය නගරයේ ඉන්නවා.

නමුත් සේරම වෙනස් වෙන්නෙ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්ට මේ නිවාසය ගැන ආරංචි වුණාම. ඔහු මේ ගැන රූපවාහිනියෙන් කියනවා. මේ නිවාසය වහන්න ඕන කියල බල කරනවා. චිත්‍රපටියෙ අවසානය අවිනිශ්චිත විධියට ආදර කතාවක් බවට පත්වෙන්නෙ ඔය අර්බුදය මැද්දෙ තමයි.

මේ චිත්‍රපටිය ටිකක් සංගීතමය එකක්. නිකං හින්දි චිත්‍රපටියක් ඉංග්‍රීසියෙන් තියෙනව වගේ ගතියක් සමහර සංගීතමය ජවනිකා වල තිබුණා. ඒ වගේම බොහොම අපූරු නර්තන ජවනිකා කීපයක්ම අන්තර්ගතයි. මේකෙ ෂෙරීෆ්ගෙ චරිතය රඟපාන Burt Reynolds හොඳ රඟපෑමක නිරත වෙනව කියල මට හිතුණා. Dolly Parton රඟපාල තියෙන්නෙ චිත්‍රපටි කීපයක වුණාට ඇය බොහොම ස්වභාවිකව රඟපාන නිලියක් කියල මට හිතිලයි තියෙන්නෙ. (දන්නව නේද මුල්ම ක්ෂීරපායි ක්ලෝනය වුණ ඩොලී කියන බැටළු පැටිය ගැන? ආන්න එයාව නම් කරල තියෙන්නෙත් මේ ඩොලී පාටන්ගෙ නමින්) ඒ එක්කම ඇ‍ඟේ හඬත් බොහොම සුන්දරයි. ඇමරිකානු කන්ට්‍රි සංගීතයට ඇගෙන් තොරව පැවැත්මක් නැති බවකුයි කියවන්න ලැබුණෙ.

මට හොඳට හිතට අල්ලපු ජොලිබර චිත්‍රපටියක්. ලොකු ළමයි බැලුවට පාඩුවක් නෑ.




මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

1 comment:

  1. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...