Monday, August 8, 2011

The Piano (1993) | Holly Hunter, Harvey Keitel, Sam Neill


The Piano චිත්‍රපටිය සංගීතය එක්ක ගලන චිත්‍රපටියක්. සංගීතය එක්ක බැඳුණු කාන්තාවක් ගැන කියවෙන චිත්‍රපටියක්. බාගෙන සෑහෙන්න කාලයක් තිබිල පහු ගිය දවසක බලන්න පුළුවන් වුණා. මුලදි ටිකක් විතර කම්මැලි වුණත් ටික දුරකදි සෑහෙන්න ලස්සන තැනකට කතාව ආවා.

ඇඩා කියන්නෙ එකදාස් අටසිය ගණන් වලදි ස්කොට්ලන්තෙ ජීවත් වුණ තරුණ මවක්. ඇය ගොළුයි. නමුත් දක්ෂ පියානෝ ශිල්පිනියක්. ඒ වගේම ඇයට අවුරුදු 10ක විතර සැර දියණියක් ඉන්නවා. නවසීලන්තයෙ ඉන්න පුද්ගලයෙක් එක්ක නැවත විවාහ වෙන ඇය තමන්ගෙ දියනියත් පියානෝවත් එක්ක නවසීලන්තයට යනවා. එහේ ගොවියෙක් විධියටයි ඇගේ අළුත් ස්වාමි පුරුෂයා වැඩ කරන්නෙ. නමුත් ඔහුට මුදල් හිඟ නිසා ඔහු ඇඩාගෙ පියානෝව අසල්වැසි පුද්ගලයෙක්ට විකුණනවා. ඒ මනුස්සයට පියානෝව ඉගැන්වීමෙන් ඇයට ආයෙත් පියානෝව අයිති කරගන්න පුළුවන් විධියෙ ගණු දෙනුවක් එතනදි වෙනවා. ඉතිං ඇඩා හැමදාම පියානෝ පාඩම් දෙන්න අසල්වැසියගේ නිවසට යනවා. කතාව වෙනත් මානයකට ඇදෙන්නෙ එතන ඉඳන්... ඇඩාගෙ මුළු ජීවිතේම වෙනත් පැත්තකට යැවෙන සිදුවීම් පෙල එතනින් ඇරඹෙනවා.

කතාවෙ ඉන්න නළු නිලියෝ කීප දෙනාම ඒ තරම් ජනප්‍රිය වුණ චිත්‍රපටි වල රඟපාපු අය නෙවෙයි. නමුත් ඔවුන් සෑහෙන්න කාලයක් ක්ෂේත්‍රයෙ ඉන්න ප්‍රවීණ ශිල්පීන්. මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඇඩාගෙ චරිතයට පණ පොවපු Holly Hunter සහ ඇගේ දියනිය විධියට රඟපාපු Anna Paquin ඇකඩමි සම්මාන දිනාගෙන තියෙනවා. ඒ එක්කම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Jane Campion ටත් හොඳම තිර රචනය වෙනුවෙන් සම්මාන ලැබිල තියෙනවා. චිත්‍රපටියක තත්ත්වය සම්මාන වලින් මනින්න බැරි වුණාට ‍සම්මාන ගැන ලියන්නෙ ඒ ගැන සැලකිලිමත් වෙන අයටත් චිත්‍රපටිය බලන්න ගැම්මක් දෙන්නයි.

චිත්‍රපටියෙ තියෙන සංගීත ඛණ්ඩ නම් සුපිරි. චිත්‍රපටියට මම කැමති වුණෙත් ඒ නිසාමයි. ඒ නිසා කැමති කෙනෙක්ට ගන්න Soundtrack එකටත් සබැඳියක් තියෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

1 comment:

  1. මේ වගේ ෆිල්ම් ගැන නම් මේ අහනවමයි. දැනුවත් කළාට බොහොම ස්තූතියි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...