Wednesday, November 23, 2011

Dreamgirls (2006) | Beyoncé Knowles, Jamie Foxx, Eddie Murphy


Dreamgrils කියන්නෙ තවත් එක සංගීතමය චිත්‍රපටියක් විතරක් නෙවෙයි. දක්ෂයින් කීපදෙනෙක්ම වැඩ පෙන්නන චිත්‍රපටියක්. විශේෂයෙන්ම ඇමරිකන් අයිඩල් වැඩසටහනේ තුන්වෙනි වාරයේ අවසන් වටයෙදි ඒකෙන් හැලුන Jennifer Hudsonගෙ ගායනය සහ අපූරු රංගනය චිත්‍රපටිය පුරාම දැණෙනවා. ඊට අමතරව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති Eddie Murphy මේ චිත්‍රපටියෙ සුවිශේෂ රංගනයක යෙදෙනවා. ඔහු විශිෂ්ඨ ගායකයෙක් කියලත් මේ චිත්‍රපටියෙන් අපට පේනවා. මොකද මේ චිත්‍රපටියෙ ඔහු කියන ගීත ඇත්තටම ගායනා කරන්නෙ ඔහු කියල හොයාගන්න ලැබුණා. ඒ එක්කම ලෝකයේ තවත් ජනප්‍රිය ගායිකාවක් වෙන Beyoncé Knowles සහ දක්ෂ ‍‍නළුවෙක් වෙන Jamie Foxx මේ චිත්‍රපටිය ආලෝකමත් කරනවා.

කතාව ඇරඹෙන්නෙ විවෘත සංගීත ප්‍රසංගයකින්. ඒ ප්‍රසංගය ආධුනික ප්‍රවීන භේදයකින් තොරව හැමෝටම විවෘත එකක්. නමුත් එතනින් ගන්න ආරම්භය සමහර විට කෙනෙක්ව තරුවක් කරන්න පුළුවන්. මේ ප්‍රසංගයේ ගායනයට එන දක්ෂ තරුණියන් තුන්දෙනෙක්ට හමුවෙන්නෙ Curtis Taylor Jr. කියන ව්‍යාපාරිකයව. ඔහු හරහා මේ තරුණියන්ට එවකට ප්‍රසිද්ධ R&B ගායකයෙක් වෙන James 'Thunder' Early ව හමුවෙනව. ඔහුගේ අත්වැල් ගායනයට එකතුවෙන මේ තරුණියන් Dreamettes නමින් ජනප්‍රිය වෙනවා. ටිකෙන් ටික ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යන ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ කලමණාකරු සහ ‍ලේබල් අයිතිකරු විධියට කටයුතු කරන කර්ටිස් විසින් ව්‍යාපාරික උවමනා වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ හේතුවෙන් කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව වෙන Effie කණ්ඩායමෙන් ඉවත් වෙනවා. වෙනත් ගායිකාවක් හරහා සම්පූර්ණ වෙන Dreamettes කණ්ඩායම ඉදිරියට යනවා. නමුත් අවසානයේ ඔවුන් සියළු දෙනා තමන්ට ජීවිතයේ අයිති නිසි තැන ටිකෙන් ටික හොයාගන්නවා.

ගීත කොපි කිරීම ගැන අද සැලකිය යුතු සංවාදයක් තියෙනවනේ. මේ චිත්‍රපටිය බැලුවනම් ගීත සහ දක්ෂතා සොරාගැනීම මොන තරම් කෲර විධියට වුණාද කියල තේරුම්ගන්න පුළුවන්. මුදල් හමුවේ සියළු දේවල් වල තියෙන්නෙ මුදලේ වටිනාකමක් විතරයි. මිනිස්කමේ පවා...?

සංගීතය එක්ක බැඳුණු චිත්‍රපටි බලන්න කැමති කාටත් මේ චිත්‍රපටියෙන් අපූරු අත්දැකීමක් ලැබෙයි කියල හිතනවා.



මගේ ලකුණු - 8/10
දැනගන්න සහ බාගන්න

2 comments:

  1. බලමු බලමු එහෙනම් ඒකත්...

    ReplyDelete
  2. ඉංග්‍රීසි සංගීතමය ෆිල්ම් නම් බැලෙන්නේ නැති ගානයි. කොහොමවුණත් මේක නම් බලන්න වටින හැඩයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...