Sunday, March 10, 2013

Rock Star (2001) | Mark Wahlberg, Jennifer Aniston, Dominic West


අපි හැමෝටම පොඩි කාලෙ එක එක පිස්සු තියෙනවනේ. ඒවයින් සමහර පිස්සු කාලෙකදි හොඳ වෙනවා. සමහර ඒව කාලෙන් කාලෙට ආයෙ මතු වෙනවා. තව සමහර ඒව හොඳ වෙන්නෙම නෑ. Chris Cole කියන තරුණයට පොඩි කාලෙ ඉඳන්ම තියෙන්නෙ රොක් සංගීත පිස්සුව. ඔහුගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වෙන Steel Dragon කණ්ඩායමේ ගීත වලටයි ඔහු හොඳටම පිස්සු වැටිල ඉන්නේ. ඔහු ඒ සංගීත කණ්ඩායමේ පින්තූරත් එක්ක තරුණ වියට පත්වුණ කෙනෙක්.

ඒ නිසාම ඔහු මූලික වෙලා Steel Dragon කණ්ඩායමේ ගීත ම ගීත ගායනා කරන cover band එකක් හදාගන්නවා. ඔහුයි ඒ කණ්ඩායෙම් ප්‍රධාන ගායකයා. නමුත් ඔහු රස්සාවට කරන්නෙ ඡායා පිටපත් යන්ත්‍ර අළුත්වැඩියා කරන එක.

ඒ අතරෙ ඔහුගෙ ප්‍රියතම සංගීත කණ්ඩායම ප්‍රසංගයක් සඳහා ඔහු ඉන්න නගරයට එනවා. ප්‍රසංගයේදි කණ්ඩායමේ ගායකයා ගායනා කරන අතරෙ ප්‍රේක්ෂකයන් අතරෙ ඉඳන් ක්‍රිස් ඒ එක්කම ගායනා කරනවා. ඒක කණ්ඩායමේ සාමාජිකයෙක්ගෙ අවධානයට ලක් වෙනවා.

ටික දවසකට පස්සෙ තමන්ගෙ කවර් බෑන්ඩ් එකේ අර්බුදත් එක්ක කලකිරීමෙන් ඉන්න ක්‍රිස්ට නාඳුනන පුද්ගලයෙක්ගෙන් ඇමතුමක් එනවා...

මේ චිත්‍රපටියට imdb දර්ශකයේ ලකුණු කොහෙත්ම ප්‍රමාණවත් මදි කියලයි මගේ අදහස. මොකද චිත්‍රපටිය කියන්න විශේෂ වරදක් හෝ මතු කරන්න තරම් විශේෂත්වයක් නැති සරළ චිත්‍රපටියක් නමුත් කතාවේ වස්තු බීජය සහ සංගීතය නිසා චිත්‍රපටිය විශිෂ්ඨ වෙනවා. කියවන්න ලැබුණ විධියට Tim_"Ripper"_Owens කියන ඇමරිකානු රොක් ගායන ශිල්පියගෙ ජීවිතය ඇසුරින් චිත්‍රපටිය නිපදවුණ බවක් දැනගත්තා.

මාක් වොල්බර්ග්, ජෙනිෆර් ඇනිස්ටන් ප්‍රධාන චරිත රඟපානවා. සංගීතය, විශේෂයෙන් ඇමරිකානු රොක් සංගීතයේ බර ලෝහ වර්ගයේ සංගීතයට කැමති උදවිය Rock Star චිත්‍රපටියට කැමති වෙයි.




Rock Star (2001) on IMDb


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...