Wednesday, March 20, 2013

Goodbye Lenin! (2003) | Daniel Brühl, Katrin Saß, Chulpan Khamatova


දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ජර්මනියෙ පාලනය වියවුල් වෙනවා. එකසත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව කියන රටවල් වලට ජර්මනියෙ පාලනය යම් තරමකට අත් වෙනවා. ඒ වුනත් සෝවියට් ආණ්ඩුක්‍රමය සමාජවාදී වීම නිසාම අනෙක් රටවල් එක්ක සෝවියට් රුසියාව එකඟ නොවෙන තැන් ගොඩක් ඇති වෙනවා. මේ හේතුව නිසාම ජර්මනිය එහි අගනුවර වන බර්ලින් නුවර කේන්ද්‍ර කරගෙන නැගෙනහිර සහ බටහිර ජර්මනිය විධියට කොටස් දෙකකට බෙදෙනවා. මේ බෙදීම ස්ථිර කරන්න තමයි සුප්‍රසිද්ධ බර්ලින් තාප්පය ඉදිවෙන්නේ.

මේක නූලට නිවැරදි ඉතිහාසය නෙවෙයි. අද කියන්න යන Goodbye Lenin! චිත්‍රපටිය දිරවගන්න අවශ්‍ය පසුබිම හදන්නයි මට අවශ්‍ය. මාත් එහෙන් මෙහෙන් කියවලා උවමනා ටික විතරක් අරගෙනයි මේ ලියන්නේ. හරි, ඒක හරි!

ඊට පස්සෙ බර්ලින් තාප්පයෙන් බටහිර කොටස බටහිර බර්ලිනය විධියටත්, නැගෙනහිර කොටස නැගෙනහිර බර්ලිනය විධියටත් හැඳින්වෙනවා. නැගෙනහිර බර්ලිනය පාලනය වෙන්නෙ සෝවියට් ක්‍රමයට. පක්ෂයේ තීරණ මත. බොහොම සීමිත ජීවන තත්ත්වයන් එක්ක. මොකද ඒක සමාජවාදී පාලන ක්‍රමයක් නිසා. නමුත් බටහිර ජර්මනිය අළුත් තාක්ෂණික මෙවලම් සහ විවෘත ආර්ථිකයක් එක්ක යුරෝපයේ සහ ඇමරිකානු පාලනය යටතේ සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා.

මේ කතාවට පාදක වෙන්නෙ 90 දශකයේ නැගෙනහිර ජරිමනියෙ ජීවත්වන පවුලක්. පවුලෙ තාත්ත ළමයි පුංචි කාලෙදිම දාල ගිහින්. පවුලෙ අම්මයි දුවයි පුතයි බොහොම සරල ජීවිතයක් ගෙවන්නේ. ඒ වගේම අම්ම සෝවියට ක්‍රමය මහ ඉහලින් පිලිගත්තු, ඒ පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් වුණ ගැහැණියක්. පක්ෂ්‍ය වෙනුවෙන් ඉගැන්වීමේ යෙදුණු ගුරුවරියක්.

නමුත් ඒ කාලෙ වෙද්දි නැගෙනහිර ජර්මනිය ටිකෙන් ටික මේ පීඩනයෙන් මිදෙන්න අරගලවලට පා තබමින් ඉන්න කාලයක් වුණා. විශේෂයෙන්ම තරුණ තරුණියන් පාරට බැහැල විප්ලව කරපු කාලයක් ඒක.

මේ වගේ කළබලයකදි තමන්ගෙ තරුණ පුතා ඇලෙක්ස් පොලිස් අත් අඩංගුවට පත් වෙන හැටි අම්ම දකිනවා. ඇය ක්ෂණික හෘද ආබාධයකට ලක් වෙනව. ඒ එක්කම ඇය සිහි විසඥ තත්ත්වයකට (කොමා) පත් වෙනවා.

බර්ලිනයේ සියළු දේවල් වෙනස් වෙන්නෙ ඇය කොමාවට පත් වෙල ඉන්න කාලෙදි. බර්ලින් තාප්පය බිඳ වැටෙනවා. බටහිර ජර්මනියෙ ඉඳන් ධනවාදය නැගෙනහිරට එනවා. කලින් නොතිබුණ තාක්ෂණය, අළුත් උපකරණ අළුත් ව්‍යාපාර එක්ක නැගෙනහිර බර්ලිනයේ ආර්ථිකය සහමුලින්ම වෙනස් වෙනවා. ඇලෙක්ස්ටත් අළුත් රස්සාවක් හම්බ වෙනවා.

මාස ගණනාවකට පස්සෙ ඇලෙක්ස්ගෙ අම්මා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. නමුත් වෛද්‍යවරු කියන්නෙ ඇයට තවත් වතාවක් නම් කම්පණය දරාගන්න බැරි බවකුයි. ඒ නිසාම ඇලෙක්ස් මහන්සි ගන්නෙ අම්මගෙ හිත සාන්ත දාන්තව තියන්නයි.

මේක ලේසි වැඩක් නෙවෙයි. ඇය විශ්වාස කරපු දේවල බොහොමයක් ඒ වෙනකොට බිඳ වැටිලා ඉවරයි. ඇය අදහපු පක්ෂය වෙනුවෙට තියෙන්නෙ ඇය අකමැති වුණ ආර්ථිකයක්. ඇය කෑමට ගත්තු කෑම ජාති වෙනුවට තියෙන්නෙ අළුතෙන් ආපු වෙනස් වෙනස් විධියෙ කෑම වර්ග. අළුත් පරිසරයට අඩිය තියපු ගමන් ඇය නැවත දැඩි කම්පණයකට ලක්වීම වලක්වන්න බෑ.

ඇලෙක්ස් මහන්සි වෙන්නෙ ඒ තත්ත්වය උදා නොකරන්න. ඔහුට ඕන වෙන්නෙ ජීවිතයේ කිසි දෙයක් වෙනස් වෙලා නැති බව අම්මාට පෙන්වන්නයි. ඒ නිසා ඔහු කරන්නෙ නගරයේ කිසිම වෙනසක් නොවුණ බව අම්මට දැණෙන්න වටපිටාව පරණ විධියට වෙනස් කරන එකයි.

Goodbye Lenin! චිත්‍රපටියෙ පසුබිම තේරෙණකල් ඒක ටිකක් විතර බෝරිං වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික කතාව බොහොම රසවත් වෙනවා. විශේෂයෙන්ම ඇලෙක්ස් සහ ඔහුගෙ මිතුරා එකතු වෙලා හදන බොරු ප්‍රවෘත්ති වාර්තා බොහොම රසවත්. ඒ එක්කම ඉස්පිරිතාලෙදි අම්මව බලාගත්තු නර්ස් නෝනා එක්ක ඇලෙක්ස්ගෙ පෙම් පලහිලව්වත් ඒ වගේම රසවත්.

කතාව තියෙන්නෙ ජර්මන් වලින්. ඉංගිරිස් සබ්ටයිටල් හොයාගන්න එක අමාරුවක් නෑ...




Goodbye Lenin! (2003) on IMDb




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...