Tuesday, August 30, 2011
Vaaranam Aayiram - A Thousand Elephants (2008) | Surya, Simran, Divya
අද කියන්න යන Vaaranam Aayiram දෙමළ චිත්‍රපටිය පහුගිය දවසක බලන්න ලැබුණ සුපිරි දෙමල චිත්‍රපටියක්. ඒ වගේම මේක සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටියක තියෙන ලක්ෂණ ඉකිමවා ගිය එකක්. මේක ගැන මුල්ම ඔත්තුව හම්බ වෙන්නෙ G+ එකේ කවුරු හරි යාළුවෙක් ෂෙයා කරපු වීඩියෝවකින්. මේකෙ ඉන්න ප්‍රධාන නළුව නිසයි ඇත්තටම චිත්‍රපටිය බාගන්න හිතුවෙ.
සූරියා කියන සොල්දාදුව (මේ චරිතය කරන්නෙ සූර්යා සිවකුමාර් කියන නළුව) මෙහෙයුමකට පිටත් වෙලා ඉන්න අතරෙ ඔහුට ඇමතුමක් එනව තමන්ගෙ පියා අභාවප්‍රාප්ත වුණා කියල. නමුත් ඔහු තමන්ගෙ මෙහෙයුම නතර කරන්නෙ නැතිව ඒකට පිටත් වෙනවා. ඒ යන ගමන පුරාවට ඔහු තමන්ගෙ පියාත් තමනුත් අතරෙ පුංචි කාලෙ ඉඳන් තිබුණ සම්බන්ධය සිහි කරනවා. ඒ සිදුවීම් පෙල තමයි කතාව අවසන් වෙනකම්ම ගලන්නේ. නමුත් ඒ සිදුවීම් අතරෙ චිත්‍රපටි කිපයක කතා තියෙනවා. මේකෙ සුර්යාගෙ පියා (ඔහුගේ චරිතය කරන්නෙත් සූර්යාමයි.) බොහොම විවෘත අදහස් තියෙන පුද්ගලයෙක්. ඔහු තමන්ගෙ දරුවො දෙන්නව හදන්නෙ බොහොම නිදහස්ව ඒ තුලම ඔහු එහුගෙ අසීමිත ආදරය දරුවන්ට දෙන විධිය චිත්‍රපටිය පුරා අපූරුවට කියවෙනවා.
එක අතකින් කතාව මේ විධියට ඉදිරිපත් කිරීමම අධ්‍යක්ෂ ගෞතම් මෙනන් මහත්තයගෙ දක්ෂකම සහ කපටිකම. මොකද මේ ඉදිරිපත් කිරීම ඇතුලෙ සරල ප්‍රේම කතා, වීර කතා, රහස් පරීක්ෂක කතා වගේම දුරාචාරය ගැන කතාත් අඩංගු වෙනවා. කතාවෙ ඉන්න පුතා පාසල් යන වියේදි, පෙම්කරන වියේදි, ප්‍රේමය බිඳ වැටිල විනාශයට ඇද වැටෙද්දි, නැවත ටිකෙන් ටික ගොඩ එද්දි සහ ජීවිතය ජයගන්න කාලෙදි තාත්ත කියන මනුස්සය නිහඬව, ඒත් හෙවණැල්ලක් වගේ පස්සෙන් ඉන්න හැටි හදවතට දැණෙනවා.
මේකෙ සූර්යාගෙ රඟපෑම් නම් සුපිරි. වේශ නිරෑපණය ඒ තරම්ම සාර්ථක නැති අවස්ථා පෙණුනත් රඟපෑම් තුල ඒ අඩුපාඩු සම්පූර්ණයි වගේ. ඒ වගේම තමන්ගෙ ශරීරය චරිතයේ ඒ ඒ අවස්ථා අනුව වෙනස්කරගන්නත් සූර්යා උත්සාහ දැල තියෙන බව පේනවා. ඒ කියන්නෙ ඔහු මේ චරිත දෙක වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් කරල තියෙනවා. ක්‍රිස්ටියන් බේල් The Machinist චිත්‍රපටිය වෙනුවෙන් වෙනස් වුණ විධියට පස්සෙ යාන්තම් එහෙම එකක් දැක්කමද කොහෙද මම. ඒ වගේම මේක අධ්‍යක්ෂවරය තමන්ගෙ පියා සහ තමන් අතර තිබුණ සම්බන්ධය ගැන ලියපු කතාවක්. ඔහු තමන්ගෙ පියාට තිබුණ දැඩි ආදරය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ. කතාවෙ තේමාව වෙන්නෙත් හැම සාර්ථක මනුස්සයෙක් පස්සෙන්ම හොඳ තාත්ත කෙනෙක් ඉන්නව කියන එකයි.
මේක දෙමල චිත්‍රපටි රසිකයන්ට වගේම අනිත් අයටත් අල්ලල යයි කියල හිතන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද මේක අහවල් වර්ගයේ එකක් කියල කියන්න බැරි, හැම වර්ගයේම ලක්ෂණ තියෙන චිත්‍රපටියක්. බලන්න ගත කරන පැය දෙක හමාර පාඩුවක් නම් නෑ...
Monday, August 22, 2011
The Best Little Whorehouse in Texas (1982) | Burt Reynolds, Dolly Parton, Dom DeLuise
The Best Little Whorehouse in Texas කියන චිත්‍රපටිය ගැන මුල්ම ඔත්තුව දුන්නෙ G+ එකේ ටිරෝන්. Dolly Parton ටිකක් ආදි කාලෙ නිලියන් අතරින් මම කැමති කෙනෙක් නිසා මේක හොයාගෙන බලන්න ඕන කියල හිතුණා. මුලින් ටිකක් කම්මැලි වෙයිද මන්දා කියල පොඩ්ඩක් සැක හිතුණත් ටික වෙලාවක් යද්දිම කතාව ගොඩක් රසවත් එකක් බව තේරුණා.
චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ වෛශ්‍යා ශ්‍රමිකයන් සපයන ස්ථානයක් වටෙයි. සරලව කිව්වොත් ගණිකා නිවාසයක් තුල ජීවත්වෙන තරුණියන් පිරිසකගෙ ඉරණම තීරණය වෙන කතාවක් තමයි මේක. හැබැයි ඔය ගණිකා නිවාසය කියන නම කියපු ගමන් අපට හිතෙන දේවල් එක්ක නම් මේකෙ කොහෙත්ම බලන්න බෑ.
මේ නිවාසය ඇමරිකා එක්සත් ජනපදයෙ ටෙක්සාස් ජනපදයෙ ලැන්විල් කියන කෝරලයෙ පිහිටල තියෙන එකක්. ඒක පටන් අරන් තියෙන්නෙ 1910දි. බොහොම හොඳ සේවාවත් ප්‍රිය මනාප බව සහ ප්‍රශ්ණ අවම වීම නිසත් මේ වෛශ්‍යා නිවාසය නගරයෙන් පිටත් සෑහෙන ජනප්‍රිය එකක් වෙනව. මුදල් හිඟ වුණ කාලෙකදි මිනිස්සු තමන්ගෙ ගොවිපලවල කිකිලියන් ගෙනත් දීල ඒ හිලව්වට සේවය ලබාගත්තු නිසා මේ නිවාසය ගොඩක් ජනප්‍රිය වෙන්නෙ Chicken Ranch නමින්. පරම්පරාවකට පස්සෙ මේකෙ ප්‍රධාන පාලිකා ධුරය හම්බ වෙනව කාලයක් ඒකෙ වැඩ කරපු දක්ෂ සේවිකාවක් වෙන Mona Stangley මෙනෙවියට. ඇගේ ප්‍රධාන සේවා ලාභිය තමයි නගරයේ ෂෙරීෆ්වරයා. මේ නිසා නීතියේ ආරක්ෂාවත් මේ ස්ථානයට ලැබෙනවා. ඒ වගේම පිටින් මේ ස්ථානයට එන අයට වෙනත් වෙනත් සේවාවන් සපයන්න සිද්ධ වීම නිසා නගරයේ අනෙකුත් කර්මාන්ත, ආදායම් මාර්ගත් දියුණු වෙනවා. මේ නිසා ඒ නගරයේ කවුරුත් චිකන් රෑන්ච් වෛශ්‍යා නිවාසය ගැන ප්‍රසාදයෙන් තමයි ඉන්නේ. තමන්ගෙ සැමිය සතියකට වතාවක් ඒකෙ සේවය ලබාගැනීම ගැන ආඩම්බර වෙන බිරින්දෑවරුත් ඔය නගරයේ ඉන්නවා.
නමුත් සේරම වෙනස් වෙන්නෙ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්ට මේ නිවාසය ගැන ආරංචි වුණාම. ඔහු මේ ගැන රූපවාහිනියෙන් කියනවා. මේ නිවාසය වහන්න ඕන කියල බල කරනවා. චිත්‍රපටියෙ අවසානය අවිනිශ්චිත විධියට ආදර කතාවක් බවට පත්වෙන්නෙ ඔය අර්බුදය මැද්දෙ තමයි.
මේ චිත්‍රපටිය ටිකක් සංගීතමය එකක්. නිකං හින්දි චිත්‍රපටියක් ඉංග්‍රීසියෙන් තියෙනව වගේ ගතියක් සමහර සංගීතමය ජවනිකා වල තිබුණා. ඒ වගේම බොහොම අපූරු නර්තන ජවනිකා කීපයක්ම අන්තර්ගතයි. මේකෙ ෂෙරීෆ්ගෙ චරිතය රඟපාන Burt Reynolds හොඳ රඟපෑමක නිරත වෙනව කියල මට හිතුණා. Dolly Parton රඟපාල තියෙන්නෙ චිත්‍රපටි කීපයක වුණාට ඇය බොහොම ස්වභාවිකව රඟපාන නිලියක් කියල මට හිතිලයි තියෙන්නෙ. (දන්නව නේද මුල්ම ක්ෂීරපායි ක්ලෝනය වුණ ඩොලී කියන බැටළු පැටිය ගැන? ආන්න එයාව නම් කරල තියෙන්නෙත් මේ ඩොලී පාටන්ගෙ නමින්) ඒ එක්කම ඇඟේ හඬත් බොහොම සුන්දරයි. ඇමරිකානු කන්ට්‍රි සංගීතයට ඇගෙන් තොරව පැවැත්මක් නැති බවකුයි කියවන්න ලැබුණෙ.
මට හොඳට හිතට අල්ලපු ජොලිබර චිත්‍රපටියක්. ලොකු ළමයි බැලුවට පාඩුවක් නෑ.
Tuesday, August 16, 2011
The Pixar Story (2007) | Stacy Keach, John Lasseter, Brad Bird
චිත්‍රපටි ගැන කියනව වගේම චිත්‍රපටි හදන අය ගැනත් කියන්න ඕන කියල හිතුණේ The Pixar Story චිත්‍රපටිය බැලුවට පස්සේ. මේ ගැන මුල්ම ඔත්තුව දුන්නෙ ටෙක්නිකල් හන්දිය බ්ලොග් අඩවියෙන්. ඔවුන්ට මුලින්ම ස්තූතියි ඔත්තුව දුන්නට! මේක pixar සමාගමේ ආරම්භය සහ ඔවුන්ගේ ගමන්මග ගැන කෙරුණු වාර්තා චිත්‍රපටියක්.
චිත්‍රපටි බලන කෙනෙක් පික්සාර් සමාගම ගැන නොදැන ඉන්න විධියක් නෑ. අඩු තරමෙ ඔවුන්ගෙ ජනප්‍රිය වීඩියෝ ලෝගෝව වෙන පුංචි මේස ලාම්පුවෙ වීඩියෝවවත් නොදැකපු කෙනෙක් ඉන්න පුළුවන්ද? මෙයාලගෙ අළුත් චිත්‍රපටියක් එනකල්නෙ දැන් අපි බලාගෙන ඉන්නේ... :D
මේ චිත්‍රපටියෙ තියෙන්නෙ පික්සාර් සමාගම හැදුන හැටි, ඔවුන් මුලින්ම කරපු අත්හදාබැලීම්, ඔවුන්ට ආපු කරදර සහ ඒවයින් ගොඩ ඒම වගේ කරුණු ටිකක්. ඔවුන්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටිය වුණ Toy Story වල ඉඳලා 2006 දි ආපු Cars චිත්‍රපටිය දක්වා ඔවුන් කරපු කියපු දේවල් එක්ක ඒ දක්වා ඔවුන් දියුණු වුණ විධිය ගැන ලස්සනට කියවෙනවා මේ චිත්‍රපටියෙන්.
මම හිතන්නෙ වැඩිය කියනවට වඩා බලන්න ආරාධනා කරන එක හොඳ වෙයි. මොකද මේකෙ කතාවක් නැති නිසා කියවෙන කරුණු ටික බලලම දැනගන්න එක හොඳයි.
Monday, August 15, 2011
Hum Hain Rahi Pyar Ke (1993) | Aamir Khan, Juhi Chawla, Dalip Tahil, Mushtaq Khan
අද කියන්නෙ ටිකක් පරණ හින්දි චිත්‍රපටියක් ගැන. Hum Hain Rahi Pyar Ke. මේක නොබලපු හින්දි චිත්‍රපටි රසිකයෙක් ඉන්න බෑ. ගොඩක් මෑතකදි චිත්‍රපටි බලන්න ගත්තු අය ඇරුණම ඔය ටැලිවිසන් වල පෙන්නන ඒව බලල තියෙන අය මේ චිත්‍රපටිය අනිවා බලල ඇති. මොකද චැනල් කීපයකම මේ චිත්‍රපටිය පෙන්නල තියෙනව. ඒ වගේම ඔය සැටලයිට්, කේබල්, අයිපී වගේ රූපවාහිනී අරගෙන තියෙන අයට ඒවයෙ තියෙන හින්දි චැනල් වලිනුත් මේක පෙන්නල තියෙනව කියල මතක ඇති.
සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටියක කතාවෙ ලොකු වෙනසක් නෑනෙ. කොල්ල, කෙල්ල එක්ක ජෝකර් කෙනෙක් සහ දුෂ්ඨය තමයි ප්‍රධාන චරිත ටික විධියට තියෙන්නේ. ඒක මෑතක ඉඳන් වෙනස් වෙමින් තිබුණත් දැනටත් බොලිවුඩ් චිත්‍රපටියක ඔය ලක්ෂණය ප්‍රධාන එකක්.
Hum Hain Rahi Pyar Ke චිත්‍රපටියෙත් එහෙමයි කතාව තියෙන්නෙ. රාහුල් මල්හෝත්‍රා කියන තරුණයගෙ සොහොයුරියත්, ඇගේ ස්වාමියත් හදිසියේම මොලොවින් සමුගන්නෙ ඔවුන් දෙන්නගෙ දරුවො තුන්දෙනයි, ඇඳුම් ව්‍යාපාරයයි රාහුල්ට පවරලා. දරුවො තුන් දෙනත් එක්ක, අර්බුදයකට මැදි වුණ ව්‍යාපාරය නිසා රාහුල් අමාරු අඩියකට වැටෙනවා. මේ අතරෙ පියාගේ බලයෙන් තමන්ට කරල දෙන්න යන විවාහයෙන් ගැලවෙන්න විජයන්ති කියන තරුණිය ගෙදරින් පැනල යනව. මෙයාට හමුවෙනව අර දරුවො තුන්දෙනා. ඊට පස්සෙ මේ තරුණියත් රාහුල් සහ දරුවො ඉන්න ගෙදරම ජීවත් වෙන්න ගන්නව. කතාවෙ ඉතිරි ටික කියන්න ඕනත් නෑ වගේනේ...
අමීර් සහ ජුහී මගේ ප්‍රියතම දෙන්නෙක්. ඔවුන් දෙන්නම රඟපාපු තවත් චිත්‍රපටියක් ගැන පසුවට කියන්නයි ඉන්නේ. දුෂ්ඨය විධියට ඉන්න Dalip Tahil මම කැමතිම දුෂ්ඨ නළුවෙක්. මේ චිත්‍රපටියෙත් ඔහු ඒ චරිතයටම විශේෂ වුණ රඟපෑමක යෙදෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙ තියෙන සින්දු ටික ගැන කියන්නම දෙයක් නෑ. අල්කා යාග්නික් එක්ක කුමාර් සානු සුසංයෝගයේ ස්වර්ණමය යුගයේ ගැයුණු සින්දු ටිකක්. ඒව කාලයක් ලංකාවෙ හොඳටම නැගල ගිය සින්දු.
මම හිතන්නෙ කාලය, භාශාව හෝ නළු නිලියෝ ගැන සලකලා චිත්‍රපටි නොබලන අයට මේකෙන් වැඩක් නැති වෙයි. නමුත් හොඳින් චිත්‍රපටි රස විඳින ඕනම කෙනෙක්ට මේ චිත්‍රපටිය හොඳ තෘප්තියක් ලබාදෙයි. ඒ එක්කම මේක බාගන්න අතරෙ ඉවසීම ප්‍රගුණ කරන්නත් පුළුවන්.
Friday, August 12, 2011
Milk (2008) | Sean Penn, Josh Brolin, Emile Hirsch, James Franco
හොලිවුඩ් චිත්‍රපටි නිතර බලන කෙනෙක්ට Sean Penn කියන නළුවව මිස් වෙන්න විධියක් නෑ. අද කියන්න යන්නෙ ඔහුගෙ විශිෂ්ඨ රංගනයක් බලාගන්න පුළුවන් Milk චිත්‍රපටිය ගැන. මේක චරිතාපදානයක්. 1970 ගණන්වලදි දේශපාලනයට ආපු ඇමරිකානු සමරිසි ක්‍රියාකාරිකයෙක් වුණ Harvey Milk ගැන තමයි මේ චිත්‍රපටිය.
Harvey Milk ඒ වකවානුවෙදි බටහිර රටවලත් පාපයක් විධියට සැලකුණු සමලිංගිකත්වය සහ සමරිසි පුද්ගලයන්ගෙ සමාජ අයිතීන් ගැන කතා කරපු, ඒ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. සමරිසිභාවය සාමාන්‍ය දෙයක් සහ ඒක සමාජයට කරන අමුතු බලපෑමක් නෑ කියන අදහස කියාපෑම තුලින් ඔහු තමන් වටේ යම් බලයක් ගොඩනගාගන්නවා. ඒ නිසාම ඔහුට අවුරුදු 48දි මැරුම්කන්නත් සිද්ධ වෙනවා.
චිත්‍රපටියෙ තියෙන්නෙ ඔහුගෙ ජීවිතේ අවුරුදු 40න් පසු අවුරුදු 8ක කාලය ගෙවුණ විධියයි. ඔහුත් ඔහුගෙ පෙම්වතාත් නිව්යෝක් නගරය අත්ඇරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට එනවා. ඒ වකවානුව සැන්ෆ්‍රැන්සිස්කෝවෙ තියෙන කැස්ත්‍රෝ කියන ප්‍රදේශයට සමරිසි පුද්ගලයන් සංක්‍රමණය වුන කාලයක්. හාවි මිල්ක් මේ ප්‍රදේශයෙ පුංචි සේයාපටල අලෙවිසැලක් පටන්ගන්නවා. ඒ හරහා ඔහු වටපිටාවෙ ඉන්න සමරිසි පුද්ගලයින්ගෙ එකතුවක් හදාගෙන ඒකට නායකත්වය දෙනවා. පසුව ඔහු සැන්‍ෆ්‍රැන්සිස්කෝ නගරයේ අධිකාරි බලය දරණ මණ්ඩලයේ අසුනක් දිනාගන්නවා. තමන්ගෙ සමරිසිභාවය ප්‍රසිද්ධියෙ පිලි අරන් ඒ හරහා දේශපාලන බලයක් දිනාගත්තු ප්‍රථම පුද්ගලය වෙන්නෙ හාවි මිල්ක් කියලයි කියවන්න ලැබුණෙ.
සීන් පෙන් මහත්තය මේකෙ කරන රඟපෑම සුවිශේෂයි. නමුත් ඔහුගෙ වෙනත් රඟපෑම් බලල නැති කෙනෙකුට ඒක එකපාරම නොදැණෙන්න පුළුවන්. ඒ නිසා පසුව විස්තරාත්මකව ලියනකල් උවමනා කෙනෙක්ට එතුම රඟපාන 21 Grams, Mystic River, I Am Sam වගේ චිත්‍රපටි බලන්න පුළුවන්. සීන් පෙන්ට අමතරව මේකෙ දැනට හොලිවුඩයේ ඉන්න තරුණ නළුවො අතරෙ වැඩ පෙන්නපු Emile Hirsch සහ James Franco දෙන්නත් රඟපානවා.
මම හිතන්නෙ මිනිස්සු හැමෝම එක එක විධියට එකිනෙකාගෙන් වෙනස්. ඒ වෙනස පදනම් කරගෙන විරුද්ධ වෙන්න, මරාගන්න ගියානම් අද වෙනකොට මිනිස් වර්ගයා නැහැ. නමුත් ඉතිහාසෙ ඉඳන් අපි ගොඩක් දක්ෂ වෙලා තියෙන්නෙත් එහෙම ඒවට තමයි. ඒත් අපි හොඳ අවසානෙකට කැමති නිසා හැම දෙයක් සම්බන්ධවම ඒක බොහොම හිමීට වෙනස් වෙමින් යයි කියල හිතමු.
Labels:
.Biography,
.Drama,
.History,
.Romance,
2008,
Dustin Lance Black,
Emile Hirsch,
English,
Focus Features,
Gus Van Sant,
James Franco,
Josh Brolin,
Milk,
Romance,
Sean Penn
Subscribe to:
Posts (Atom)




