Thursday, June 30, 2011

The X Files: Fight the Future (1998)


මේ චිත්‍රපටිය ගැනනම් නොදන්න කෙනෙක් ඉන්න බෑ වගේම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන කෙනෙක් මේක නොබල තියෙන්නත් විධියක් නෑ. ඒත් මම බලපු හොඳම චිත්‍රපටි අතර එකක් නිසා සහ මේක වෙනම උප සංස්කෘතියක් දක්වාම පැතිරුණ මාතෘකාවක් නිසා නොබලපු කෙනෙක්ට දැනගන්න එක්කයි The X Files: Fight the Future ගැන ලියන්න හිතුවේ.

මුලින්ම මේ චිත්‍රපටිය මට හම්බවුණේ 1999දි විතර හොඳටම හම ගිය VCD තැටි දෙකක් විධියට. ඒ දවස්වල පිටසක්වල පිස්සුව තදින්ම වැලඳිල හිටපු යාළුවො 4-5 දෙනෙක් අතරෙම මේක අතින් අත ගියා. මොකද කොපි කරගන්නවත් ඒ කාලෙ අපට කොම්පියුටර් තාක්ෂණේ තිබුණෙ නෑනෙ. ඉතිං අර VCD වල හොඳට හුරු පුරුදු කොටු, සද්ද, හිරවීම් එක්ක මේක යාළුවන්ගෙ VCD player වල තමයි පට්ට ගැහුවෙ.

ඒ වුණත් තාක්ෂණේ ලැබුණ ගමන් බාගන්න උනන්දු වුණ මුල්ම චිත්‍රපටි අතරෙ එකක් තමයි මේකත්.

රූපවාහිනී සංස්ථාවට බැණ බැණ TV එකේ අපි බලපු කතාංග වල ‍පසුබිම තමයි මේ චිත්‍රපටියෙදි තේමාව වෙලා තියෙන්නේ. X-Files මාලා නාට්‍යයේ හැමවෙලේම කතා කරපු කුමන්ත්‍රණ, කළු තෙල්, වයිරස්, මුහුන්කරණය වගේ දේවල් ගැන තියෙන විචිකිච්ඡා සේරම මේ විත්‍රපටිය බැළුවොත් නැති වෙලා යනව. එක විධියකට වෙන්නෙ මේකයි කියල කියන්න බැරි තරම් කතාව සංකීර්ණ වුණත් මොල්ඩර්ට පිටසක්වලයන් පෘථිවියේ කරන වැඩ ගැන තමන්ගෙ සැකය තරවුරු කරගන්න ලැබෙන සාක්ෂිත්, ඒ අනුව ඔහු පිටසක්වල මූලස්ථානයක් වෙත යන ගමනත්, එහිදී තමන්ගෙ සගයා ස්කලීව බේරාගැනීමත් තමයි කතාවෙ සාරාංශය. ත්‍රාසය, භීතිය එක්ක ක්‍රියාදාම සෑහෙන්න හොඳට තියෙනවා.

ඉතිං ඒජන්ට් මොල්ඩර් සහ ස්කලී එක්ක අමුතුම අත්දැකීමක් ලබන්න අනිවා බලන්න...



2008 ආපු The X Files: I want to believe චිත්‍රපටිය නම් ගන්නම දෙයක් නෑ... ඒකෙ තේමාව X-Files චිත්‍රපටියකටනම් හරියන්නෙම නැති ටෙලි නාට්‍යමය එකක්. ඒත් ඕන කෙනෙක්ට ඒකත් හොයල බලන්න පුළුවන්.

මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 29, 2011

Betty Blue (1986) - 37°2 le matin


අද කියන්න යන Betty Blue කියන චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක්. මම බලල තියෙන චිත්‍රපටි වලින් සිනමාත්මක විධියට හොඳම ඒවා හැදිල තියෙන්නෙ ඇමරිකාවට වඩා යුරෝපීය රටවල. Betty Blue කියන්නෙත් ඒ අතින් සුපිරි චිත්‍රපටියක්. මිනිස් හැඟීම් සහ ජීවිතය ගැන ගැඹුරින් කෙරෙන විග්‍රහයක් තියෙන චිත්‍රපටියක්. මේක හදල තියෙන්නෙ 1986 කියල මම දැනගත්තෙත් මේ ගැන ලියන්න ඕන වුණ නිසා. මේ වෙනකල්ම මම හිතාගෙන හිටියෙ මේක 2007 වගේ කරපු එකක් කියලයි. මොකද ඒ තරමටම චිත්‍රපටිය අළුත්. අවුරුදු 3කට විතර කලින් මේක ගැන මට මුල් ඔත්තුව දුන්නෙ ඔයාල සමහරවිට දන්න කෙනෙක් වෙන මොහාන් හෙට්ටිආරච්චි මහත්තයා...

චිත්‍රපටියෙ ඉන්න Zorg කියන තරුණය කුලී නිවාස පෙළක් බලාකියාගෙන නිදහස තියෙන වෙලාවලට මොනව හරි ලියාගෙන සාමාන්‍ය විධියට ඉන්න පුද්ගලයෙක්. මෙයාගෙ ජීවිතේ එකපාරම වෙනස් වෙනවා Betty කියන අපූරු තරුණිය නිසා. මොවුන් දෙදෙනා කලින් දැනගෙන හිටියත් එකට ජීවත් වෙන්න හිතපු අය නෙවෙයි. ඒත් අනපේක්ෂිත විධියට දෙන්න එකතු වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ අපි හිතන විධියෙ ගලායාමක් නෙවෙයි. දැනට කරමින් ඉන්න රස්සාවෙන් සෝග් ඉවත් වෙන අතරෙ බෙටී අවන්හලක රැකියාවකට යනව. සෝග් ලියන දේවල් පොතක් විධියට එලිදක්වන්න ඕන කියන මතයේ ඉන්න බෙටී සෝග්ට ඒකට අවශ්‍ය කාලය අරන් දෙනවා. ඔය අතරෙ බෙටී වැඩ කරන තැන ලොක්ක මේ දෙන්නත් එක්ක හොඳට යාළු වෙනව. පසුව දවසක ඒ අවන්හල් අයිතිකාරයට අයිති පියානෝ සාප්පුවක් බලාගෙන ඉන්න මේ යුවලට සිද්ධ වෙනව.

සෝග් ලියන පොත පලකරන්න ගියාම තමයි ඊළඟට යුද්ධය ඇවිලෙන්නේ. ප්‍රකාශකය ඒක පලකරන්න බෑ කිව්වම බෙටීට තරහ යනව. ඒ තරහ කෙමෙන් කෙමෙන් මානසික ව්‍යාධියක් වෙන තැනට පත් වෙනව. සෝග් උත්සාහ කරන්නෙ තමන්ගෙ ආදරෙන් බෙටීව හොඳ කරගන්න. සෝග් සාර්ථක වෙයිද?

මේකෙ රඟපෑම් වලට අමතරව සංස්කරණය සුපිරි කියල කියන්න පුළුවන්. ප්‍රංශ චිත්‍රපටිවල තියෙන හොලිවුඩ් චිත්‍රපටි වල නැති අපූරු ගලායාම මේ චිත්‍රපටියෙ හොඳටම තියෙනව. මේක මම අන්තිමට බැළුවෙ අවුරුදු දෙකකට විතර කලින්. ආයෙත් බලන්න උවමනා වෙලයි දැන් ඉන්නේ.

චිත්‍රපටියෙදි බෙටීට තියෙන ඉක්මනින් තරහ යාමේ පිස්සුව අපට පේන්න තිබුණත් චිත්‍රපටිය පුරාම අපට හමු වෙන්නෙ එක එක මානසික දුබලතා තියෙන මිනිස්සු. ඒ කවුරුත් තමන්ට ලෙඩක් තියෙනව කියල දන්නෙ නැ හැබැයි.

ආ.... තූති බබාල බලල නරක් වුණා කියන්න එපා හොඳේ..



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Friday, June 24, 2011

Pithamagan (2003)



Pithamagan නමෙන් කියවෙන විධියටම දෙමළ චිත්‍රපටියක්. ඉස්සර දෙමළ චිත්‍රපටි කිව්වම නිදිමත හැදුනත් පස්සෙ පස්සෙ ඒවයෙ තියෙන අමුතු ගතියට කැමති වුණ නිසා දැන් ලැබෙන ඔත්තුවකින් දෙමළ චිත්‍රපටියක් බලන්න පුළුවන් ආසාවෙන්.

මේ චිත්‍රපටිය ගැන මුලින්ම ඔත්තුව ලැබුණෙ අපේ ගුගල් බස් යාළුවන් අතර ඇතිවුණ කතාවකදි. කව්දෝ යාළුවෙක් (සමාවෙන්න නම අමතක එකට. දැන් ඒ ‍බස් එකේ කෑලිත් නෑ හොයාගන්න) මේ චිත්‍රපටිය ගැන බස් එකේ ගිය කතාවක් මැද්දෙදි කියල තිබුණ. දෙමළ නළු නිලියො ගැනවත් අධ්‍යක්ෂකල ගැනවත් මෙලෝ මළදානයක් නොදන්නව වුණාට කවුරු හරි හොඳයි කියන්නෙ හොඳ වෙන්න පුළුවන්නේ.... :-) ඉතිං බෑවා... බොහොම අඩු සීඩ් ප්‍රමාණයක් තියෙන්නේ. ඔයාල මේක බානවනම් සතියක් විතර ඉවසන්න වෙයි...

හැබැයි ඉවසල ඉවසල අමාරුවෙන් බාගත්තට පාඩුවක් නැති චිත්‍රපටියක් මේක. සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමක් චිත්‍රපටිය තාත්ත්විකයි. අර දුෂ්ඨයට උඩ විසි වෙන්න ගහල එයා බිම වැටෙන්න කලින් තව දහ දොළොස් දෙනෙක්ට ගහනව වගේ සටන් නැති වුණාට චිත්‍රපටිය නියමයි. මේකෙ තියෙන්නෙ සොහොන්පල්ලෙක්ගෙ රැකවරණය ලබන තරුණයෙක් සමාජයට ඒම සම්බන්ධ කතාවක්. සොහොන්පල්ලා මියගියාට පස්සෙ චිත්තන් කියන මේ තරුණයා ගමට ආවත් ගමේ මිනිස්සුන්ගෙන් හොඳ පිළිගැනීමක් ඔහුට ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව ඔහු හරියට කතාකරගන්නවත් දන්නෙ නැති සතෙක් වගේ හැදුණ මිනිහෙක් නිසයි. ඒ නිසාම ඔහු විවිධ අකරතැබ්බ වලට මුහණ දෙනව. ඒවයින් ඔහුව ගලවල තියාගන්න ඔහුට හම්බ වෙනව නියම යාළුවෙක් ශක්ති කියලා. ඒ එක්කම ඔහුට හමුවෙනව ගෝමදී කියල ග‍මේ තවත් කොන් වුණ තරුණියක්. මේ දෙන්නත්, ශක්තිගෙ පිස්සු යාළුවො දෙන්නත්, ශක්තිගෙ පෙම්වතිය වෙන මංජුත්, ඒ හතරපස් දෙනාගෙම දුෂ්ඨයත් එක්ක චිත්තන්ගෙ ඉරණම තීරණය වෙන හැටි චිත්‍රපටියෙ අපූරුවට නිරූපණය වෙනව.

චිත්‍රපටිය ගැන මම කියවපු දේවල් අනුව බාලා කියනනෙ ඉන්දියාවෙ ඉන්න දක්ෂ සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්. වික්‍රම්ට මේ චිත්තන් චරිතය වෙනුවෙන් ඉන්දියානු ජාතික සිනමා සම්මාණ උළෙලෙදි හොඳම නළුවට හිමි සම්මානය හිමි වෙලා තියෙනවා. සූර්යා කියන නළුවගෙ චිත්‍රපටි කීපයක්ම මම කලින් බලල තියෙනවා. ලංකාවෙත් ගෑණු ළමයි ගොඩක් කැමති, බොහොම හුරුබුහුටි, ගහගන්නයි නටන්නයි හොඳට හැකියාව තියෙන නළුවෙක්නේ... නිළියෝ දෙන්න විධියට ඉන්න ලෙයිලා සහ සංගීතා දෙන්න ගැනත් කියන්න වරදක් නෑ... සුන්දරයි... ඒ එක්කම සංගීතය දකුණු ඉන්දියානු සිනමාවෙ යෝධයෙක් වෙන මාස්ටර් ඉලෛරාජාගෙන්.

ඉන්දියානු චිත්‍රපටියක් ගැන ලියන්න ගියාම ඒ ගැන තොරතුරු වලට එක තැනක් නැති වීම ලොකු අඩුවක්. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයක් වෙන දුෂ්ඨ චරිතය කරන නළුව ගැන කොහෙවත් සඳහනක් නෑ. සාමාන්‍යයෙන් ඉන්දියාව තොරුතුරු තාක්ෂණ හැකියාවන් සම්බන්ධව ලෝකෙම හොල්ලගෙන හිටියත් තවමත් IMDb තරමට සාර්ථක පද්ධතියක් ඔවුන් සතුව නෑ... නැත්නම් මට හමු වුණේ නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන කියල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්!



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Thursday, June 23, 2011

Cloverfield (2008)


Cloverfield චිත්‍රපටියෙ තියෙන්නෙ නිව්යෝක් නගරයට පහර දෙන අද්භූත යෝධ සත්ත්වයෙක් ගැන කතාවක්. ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. නමුත් ඒකෙ කතා තේමාවෙ විධියට ඒක ඔය ගොඩ්සිලා, ට්‍රාන්ස්ෆෝමර්ස් තරම් නැතත් සෑහෙන්න ජනප්‍රිය වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ. සමහර විට චිත්‍රපටියෙ නම, ඒ කතාවේ තේමාව නිරූපණය නොකිරීමත්, රඟපාන අය ඒ තරම්ම ජනප්‍රිය අය නොවීමත්, ඒ වගේ චිත්‍රපටි කීපයක්ම කලින් නිකුත් වෙලා තිබීමත් වගේ වගේ හේතු නිසා චිත්‍රපටය ජනප්‍රිය නොවෙන්න ඇති. නමුත් මට නම් ඒක නියම චිත්‍රපටියක්. ඒ වගේම ඒක පර්යේෂණාත්මක චිත්‍රපටියක්.

කතාව ඉදිරිපත් වෙන්නෙ කැම් කෝඩර් යන්ත්‍රයක සටහන් වුණ සංස්කරණය නොවුණ චීඩියෝවක් විධියටයි. කියවපු විධියට නම් මුළු චිත්‍රපටියම DV වීඩියෝ පටයක දිගට සමානයිලු. කතාව පටන්ගන්නෙ තමන්ගෙන් සමු අරන් ඈත රටක රස්සාවකට යන්න නියමිත මිතුරෙක් වෙනුවෙන් එයාගෙ යාළුවො ටික පවත්වන සාදයකින්. සාදය අතරෙදි හොඳට විනෝද වෙමින් හිටපු ඒ සේරම දෙනා එකපාර කම්පනය වෙනවා අමුතු සද්දෙකින්.

කට්ටියම ඒ මොකක්ද කියල බලන්න පොරකන අතරෙ ඔය කවුරුත් දන්න ලිබර්ටි ප්‍රථිමාවෙ ඔළුව ගැලවිලා අහසින් ඇවිත් මහ පාර මැදට වැටෙනවා. කට්ටියටම තේරෙනවා ලොකු අනතුරක් අත ළඟ කියලා. ඊට පස්සෙ පණ බේරගන්න දුවන දිවිල්ල තමයි කතාව පුරාම තියෙන්නේ...

කතාව අපූරු විධියකට ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වෘත්තීය නොවෙන කැමරා ශිල්පියෙක් කැම් එකක් පාවිච්චි කරන විධියටම මේකෙදි කැමරාව හසුරුවලා තියෙනවා. ඒ වගේම කම්පනයට ලක් වෙද්දි කැමරාව අතේ තියෙන කෙනාට ඒක දැණෙන විධියටම අපටත් දැණෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Wednesday, June 22, 2011

Apocalypse Now (1979)


Apocalypse Now කියන්නෙ ටිකක් පරණ වුණත් මම බලල තියෙන යුධ චිත්‍රපටි අතරෙ සුපිරි වර්ගයේ චිත්‍රපටියක්. යුද්ධයේ කුරිරු බවත්, යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන විධියත්, යුද්ධය නිසා ඒකට සම්බන්ධ වෙන මිනිස්සුන්ට දැණෙන ආතතියත් ගැන ගොඩක් සාර්ථක කතාවක් මේ චිත්‍රපටියෙ තියෙනවා.

ඇමරිකානුවන් වියට්නාමෙ යුධ වැදුනු අවධියෙ සිදුවෙන සිදුවීම් කීපයක් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඇමරිකානු හමුදාවේ කැප්ටන්වරයෙක් වෙන Captain Benjamin L. Willard උසස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමකට තෝරගන්නවා. ඒක රහසිගත මෙහෙයුමක්. ඔහුට නියම වෙන්නෙ ඒ වෙනකොට කාම්බෝජ දේශ සීමාවෙ කුරිරු යුද්ධයක නිරත වෙලා ඉන්න කර්නල්වයෙක් වෙන Walter Kurtz ව මරා දැමීමයි. ඇමරිකානු හමුදා නිලධාරින්ගේ පාලනයෙන් තොරව කර්නල් කර්ට්ස් ඔහුගේම යුද්ධයක් කරන බවයි කැප්ටන් විලාඩ් ට ඉහලින් දැනුම් දෙන්නේ..

ඉතිං කපිතන් විලාඩ් කර්නල් කර්ට්ස්ව හොයාගෙන සෑහෙන්න දුරක් යනවා. අවසානයේ ඔහුට කර්නල්වරයාව හමුවුණාම ඔහුට තේරෙනවා කර්නල්වරයා අමුතුම පුද්ගලයෙක් කියලා. ඔහුටම ආවේණික යුධ ශිල්ප ක්‍රම හරහා ඔහු යුද්ධය කරමින් ඉන්න බව කපිතන්ට තේරෙණවා. ඔහුටත් නොදැනීම ඔහු ඒ යුද්ධයේ කොටසක් බවට පත් වෙනවා. මේ කතාව ඉදිරිපත් කරන්නෙ බොහොම අපූරු විධියට... ඒව ඉතිං පතාක අධ්‍යක්ෂවරයෙක් වුණ Francis Ford Coppola මහත්තයගෙ වැඩ තමයි.

චිත්‍රපටියෙ රඟපාන්නෙත් ඒ වගේම යෝධයො ටිකක්. Marlon Brando, Martin Sheen එක්ක Robert Duvall කියන්නෙ හොලිවුඩ් සිනමාවෙ යෝධයො නේන්නම්...

Apocalypse Now චිත්‍රපටිය Joseph Conrad මහත්තයගෙ Heart of Darkness ‍කියන පොත අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ....

ඉතිං කලින් කියපු අයගෙ වැඩ එක්ක යුද්ධයේ අපි නොදන්න තව පැත්තක් ගැන දැනගන්න මේකත් බලන්න ටුයි එකක් දෙන්න.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

Related Posts Plugin for WordPress, Blogger...